Q. සිංහල සංස්කෘතියෙන් අපට උරුමවන ගණ දෙවියන් වැනි දෙවිවරුන් වන්දනා මාන කිරීම කමක් නැද්ද?
A. " 22. විෂ්ණු කතරගම ආදි දෙවිවරුන්ට පුදපූජා පැවැත්වීමෙන් ඔවුන්ගේ පිහිට සෙවීමෙන් සරණ ශීලය බිඳී බෞද්ධත්වය නැති වේ ද?
සමාජයේ දේව වන්දනාව ඉහවහා ගොස් ඇති බවකුත් පෙනේ.
ලෝකෝත්තර සරණ ගමනය ලෞකික සරණ ගමනය යි සරණගමන දෙකක් ඇත්තේ ය. ලෝකෝත්තර සරණගමනය ඇත්තේ චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රත්‍යක්ෂ කළ සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන ආර්‍ය්‍ය පුද්ගලයන්ට ය. එය කවදාවත් කිළිටි වන්නේත් නැත. බිඳෙන්නේත් නැත. එය මරණින් ඔබ්බෙහි ද නො වෙනස්ව පවතින්නේ ය. ආර්‍ය්‍ය පුද්ගලයකු කාලක්‍රියා කොට අන් භවයක උපන් කල්හි ද ඔහු ගේ සරණ ගමනය එසේම ඇත්තේ ය. පෘථග්ජන පුද්ගලයන් ගේ සරණ ගමනය ලෞකික ය. එහි කිලිටිවීමත් බිඳීමත් ඇත්තේ ය.
“ලොකිය සරණ ගමනං තීසු වත්ථුසු අඤ්ඤාණ සංසය මිච්ඡාඤාණාදීහි සංකිලිස්සති” යි ලෞකික සරණගමනය බුද්ධාදි රත්නත්‍රය කෙරෙහි නො දැනීම ය, සැකය, වැරදි දැනුමය යනාදි කරුණුවලින් කිලිටි වන බව භයභේරව සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. බුදුන් සරණ යෙමි යනාදීන් කීවත් බොහෝ දෙනා ගේ සරණ ගමනය කිලිටි වන්නේ බුදුන් වහන්සේ සර්‍වඥ ද? නැත ද? අසවල් කරුණ බුදුනට නො පෙනුනේ මන් ද? රත්නත්‍රයෙන් පිහිටක් ඇත ද? නැත ද? යනාදීන් පහළ වන සැකවලිනි.
ආගම් ඇදහීමෙන් වැඩක් නැත කියා රත්නත්‍රය අතහැර දැමීමෙන් ද දේව බ්‍රහ්මාදි අනිකකු තමා ගේ ගැලවුම්කාරයා ලෙස පිළිගැනීමෙන් ද මරණයෙන් ද ලෞකික සරණගමනය බිඳේ. එය ලෝකෝත්තර සරණ ගමනය සේ භවාන්තරයට නො යන්නේ ය. රත්නත්‍රය සරණ ගිය තැනැත්තා විසින් එයින් බලාපොරොත්තු විය යුත්තේ බුදුරජාණන් වහන්සේ ගේ ධර්‍මය අනුව පිළිපැද අපායෙන් මිදීමත් සගමොක් සැප ලැබීමත් ය. තවත් ක්‍රමයකින් කියතහොත් ජාති ජරා මරණාදි දුක් කෙළවර කිරීම ය. ආහාර පාන සපයා ගැනීම, ඇඳුම් - පැළඳුම් සපයා ගැනීම, ගෙවල්-දොරවල් යාන වාහන සපයා ගැනීම, පුරුෂයන්ට භාර්‍ය්‍යාවන් සොයා ගැනීම, ස්ත්‍රීන්ට ස්වාමිපුරුෂයන් සොයා ගැනීම, දරුවන් නැති අයට දරුවන් ලබා ගැනීම, නැති වූ අය සොයා ගැනීම, නැති වූ බඩු සොයා ගැනීම, රෝග සුවකර ගැනීම, ග්‍රහ අපල දුරු කර ගැනීම, සතුරු උවදුරු නැතිකර ගැනීම, අමනුෂ්‍ය භය - ඇස්වහ - කටවහ දෝෂ නැති කර ගැනීම, සූනියම් දෝෂ නැති කර ගැනීම, විභාගවලින් සමර්‍ථවීම යනාදි මනුෂ්‍යයන් විසින් බලාපොරොත්තු වන නොයෙක් කරුණු රත්නත්‍රයෙන් සිදු කර ගත නො හැකි ය. ඒවාට අන් පිහිටවල් සොයා ගත යුතු ය. ඒ උවමනා ඉටු කර ගැනීමට දෙවියකුගෙන් හෝ මිනිසකුගෙන් හෝ යකකුගෙන් හෝ තිරිසනකුගෙන් හෝ කාගෙන් හෝ පිහිට ලැබිය හැකි නම් ලබා ගත්තාට සරණගමනය කිලිටි වීමක් හෝ බිඳීමක් නො වන්නේ ය. ආහාරපාන සොයා ගැනීම් ආදි සෑම කරුණකට ම රත්නත්‍රයේ පිහිට සොයන්න යාම අනුවණ කමෙකි.
බෞද්ධයන් විෂ්ණු කතරගම ආදි දෙවිවරුන්ගෙන් බලාපොරොත්තු වන්නේ රෝග සුවකර ගැනීම්, අපල දුරු කර ගැනීම්, නඩු හබවලින් නිදහස් වීම් ආදි කරුණු ය. ඒ දෙවිවරුන්ට පුද පූජා පවත්වා ඔවුන්ගෙන් ඒවාට උපකාර ලබා ගැනීම වෙදමහතකුට නීතිඥයකුට දෛවඥයකුට ආණ්ඩුවේ නිලධාරියකුට තෑගි බෝග පිරිනමා යම් කිසි උපකාරයක් ලැබීම වැනි කරුණකි. දෙවියන් සතුටු කොට දෙවියන්ගෙන් එබඳු උපකාරයක් ලැබීම වරදක් නම් රත්නත්‍රයේ පිහිට ම නො සොයා මිනිසකුගෙන් උපකාරයක් ලැබීමත් වරදක් විය යුතු ය. දේව පූජාවට විරුද්ධ දෙවියන්ගෙන් පිහිට හෙවත් උපකාර ඉල්ලීමට විරුද්ධ අය මිනිසුන් ගේ පිහිට හෙවත් උපකාර සොයනවාට විරුද්ධ නො වෙති.
බෞද්ධයා විසින් සෑමදෙයකට ම රත්නත්‍රයේ පිහිට ම සෙවිය යුතු නම් වෙදමහතුන් ගේ නැකත් කරුවන් ගේ නීතිඥයන්ගේ පිහිට සෙවීම, පොලීසියේ පිහිට සෙවීම නො කළ යුතු වන්නේ ය. රෝග භය අමනුෂ්‍ය භය ආදිය දුරු කර ගැනීම සඳහා තථාගතයන් වහන්සේ විසින් පිරිත් දේශනය කර ඇත්තේ ය. එහෙත් බෞද්ධයන් විසින් පිරිතෙන් ම ඒවා කරගත යුතුය කියා උන් වහන්සේ ගේ නියමයක් නැත්තේ ය. භික්ෂූන් වහන්සේට විනයෙහි බෙහෙත් අනුදැන වදාරා ඇත්තේ පිරිතෙන් ම රෝග සුවකර ගත යුතුය කියා නියමයක් නැති නිසා ය. අමනුෂ්‍ය භය දුරුකර ගැනීමත් පිරිතෙන් ම කළ යුතුය කියා තථාගතයන් වහන්සේ ගේ නියමයක් නැත.
තථාගතයන් වහන්සේ ජීවමාන කාලයේ දී එක් භික්ෂුවකට අමනුෂ්‍යාබාධයක් හටගත්තේ ය. ආචාර්ය්‍යෝපාධ්‍යායයන්ට ඒ භික්ෂුව ගේ රෝගය සුව නො කළ හැකි විය. ඒ භික්ෂු තෙමේ ඌරන් මරණ තැනකට ගොස් අමු ඌරු මස් කා ඌරු ලේ බීවේ ය. රෝගය එයින් සුව විය. ඒ කාරණය භික්ෂූහු සර්වඥයන් වහන්සේට සැල කළහ. එකල්හි උන් වහන්සේ “මහණෙනි, අමනුෂ්‍ය උවදුරු දුරු කර ගැනීමට මා විසින් වදාළ පිරිත් ඇත්තේ ය. තෙපි ඒවායින් අමනුෂ්‍ය උපද්‍රවයන් දුරු කර ගනිව්ය”යි නො වදාළ සේක. “අනුජානාමි භික්ඛවෙ, අමනුස්සිකාබාධෙ ආමක මංසං ආමක ලොහිතං” යි වදාරා ඒ භික්ෂුව කළ දෙය ම ස්ථිර කළ සේක.
“පුන ච පරං මහානාම කුලපුත්තො උට්ඨාන විරියාධිගතෙහි භොගෙහි මහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි යාවතා බලිපටිග්ගාහිකා දෙවතා සක්කරොති ගරු කරොති මානෙති පූජෙති තමෙනං බලිපටිග්ගාහිතා දෙවතා සක්කතා ගරු කතා මානිතා පූජිතා කල්‍යාණෙන මනසා අනුකම්පන්ති චිරං ජීව දීඝ මායුං පාලෙහීති. දෙවතානුකම්පිතස්ස මහානාම කුලපුත්තස්ස වුද්ධි යෙව පාටිකංඛා නො පරිහානි”
යනුවෙන් “මහානාමය, කුලපුත්‍ර තෙමේ දෑතේ වීර්‍ය්‍යයෙන් දහඩිය වගුරුවා මහන්සියෙන් සපයා ගත් වස්තුවෙන් පූජා පිළිගන්නා දේවතාවන්ට සත්කාර කෙරේ ද, ගරු කෙරේ ද, සිතින් ආදර කෙරේ ද, පූජා කෙරේ ද; එසේ පූජා සත්කාර කරන ලද්දා වූ ගරු කරන ලද්දා වූ ඒ දේවතාවෝ ඒ කුලපුත්‍රයා හට යහපත් සිතින් චිර කාලයක් ජීවත් වේවා යි අනුකම්පා කරන්නාහ. මහානාමය, දේවතානුකම්පාව ලබන්නා වූ කුලපුත්‍රයා හට දියුණුවක් ම වන්නේ ය. පිරිහීමක් නො වන්නේය”යි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. මේ දේශනාවෙන් දෙවියන් පිදීම තථාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇති බව පෙනේ. ඉදින් දෙවියන් පිදීම වරදක් නම්, බෞද්ධයන් විසින් නො කළ යුත්තක් නම්, තථාගතයන් වහන්සේ මෙසේ නො වදාරන්නාහ.
ඇතැම්හු දෙවියන්ට පූජා වශයෙන් කළ යුත්තේ “පින්දීම පමණක්ය, මල් පහන් සුවඳ ආහාරාපාන නො පිදිය යුතුය”යි කියති. ඉහත දැක්වූ බුද්ධ දේශනයෙහි දැක්වෙන්නේ නම් පින්දීමක් නොව ඩහදිය මහන්සියෙන් සපයා ගත් වස්තුවෙන් දෙවියන් පිදීමෙකි. පින් දීමෙන් දෙවියන් ගේ පිහිට සෙව්වත් වැඳුම් පිදුම් කිරීමෙන් පිහිට සෙව්වත් පිහිට සෙවීමෙහි වෙනසක් නැත. දෙවියන් ගේ පිහිට සෙවීම වරදක් නම් කෙසේ සෙව්වත් එය වරදක් ම ය. යමකුට දෙවියකුගෙන් පිහිටක් ලබා ගත හැකි නම්, පින් දීමෙන් හෝ වේවා මල් පහන් ආදිය පිදීමෙන් හෝ වේවා ලබා ගත්තාට එයින් සරණගමනයට බෞද්ධත්වයට වන හානියක් නැති බව දත යුතු ය.
අබෞද්ධ දේවභක්තිකයෝ “දෙවියෝ ලෝකයේ ශ්‍රේෂ්ඨයෝ ය. මිනිසා ගේ ගැලවුම්කාරයෝය”යි සලකා දෙවියන් පුදති. සරණගමනයට හානි වන්නේ එසේ දෙවියන් පිදීමෙනි."
කියවන්න - ගලිගමුවේ ඤාණදීප හිමි - අමනුෂ්‍ය ග්‍රහණයෙන් මිදී සුගතිය කරා - ඔබේ මේ ගැටළුවට මැනවින් පිළිතුරු ලැබෙන, ඉතා මිල අඩු, විශිෂ්ට ග්‍රන්ථයකි / පොතකි.
A / R. " මිනිස්සු දෙවියන් දැක නැති වුවත් ඒ පිළිබඳ අප තුළ පවත්නා විශ්වාසය බළවත්ය. බුදු දහමේ එන දේව සංකල්පය හින්දු දහමේ එන දේව අදහසට වඩා වෙනස්ය. බුදුදහම දේවත්වය පැහැදිලි කරන ආකාරය ගැන හොරණ ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ හා අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක ගලිගමුවේ ඤාණදීප හිමි කරන පැහැදිලි කීරීමකට මෙවර ධර්ම සභාව වෙන්වේ.
* බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ වැඩිපුරම ධර්මාවබෝධය ලබා තියන්නේ දෙවිවරුද?
මනුස්සයන්ට වඩා දෙවියන්ට ධර්මාවබෝධය කිරීමේ කුසලතාව වැඩියි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා පළමු ධර්ම දේශනය පැවැත්වූවේ පස්වග තවුසන්ටයි. මේ මොහොතේ බුදුහාමුදුරුවෝ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරද්දී භූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලොව දක්වාම දස දහසක් ලෝක ධාතුවල දෙවිවරු අහසේ වැඩ හිටියා. ඉඳිකටු තුඩක් පමණ සියුම් සිරුරු මවාගත් දෙවිවරු අහසේ අතුරු සිදුරු නැතිව වැඩහිටි බවක් කියවෙනවා. එදා මනුලොවදී කොණ්ඩඤ්ඤ හාමුදුරුවො සෝවාන් වෙන විට දෙවිවරු දහඅට කෝටියක් මඟඵල ලැබුවා කියලා දේශනාවල දැක්වෙනවා. මිනිස්සුන්ට වඩා දෙවිවරුන්ට ධර්මාවබෝධය කිරීමේ කුසලතාව වැඩි බව එයින් පෙනෙනවා. බුද්ධ දේශනා අහලා වැඩිපුරම නිවන් අවබෝධ කරගෙන තියෙන්නේ දෙවිවරු.
බුදුහාමුදුරුවන්ගේ දින චර්යාවේ රාත්‍රී මැදියම් යාමය (10.00 – 2.00) වෙන්කළේ දෙවියන්ට. මේ මොහොතේ දෙවිවරු මුළු ජේතවනයම බබළවාගෙන බුදුහාමුදුරුවන්ගෙන් විවිධ ප්‍රශ්න නැඟුවා. ඒ වගේම දේවතා සංයුක්තය, දේවපුත්ත සංයුක්තයෙන් දෙවිවරු බුදුහාමුදුරුවන‍්ගෙන් අහපු ප්‍රශ්න, ධර්ම ගැටලු සඳහන් වී තිබෙනවා. මිනිස්සුන්ට මතුවන ධර්ම ගැටලුත් විසඳන්න මුල්වෙලා තියෙන්නේ දෙවිවරු. මහා මංගල සූත්‍රය ගත්තොත් අවුරුදු දොළහක් තිස්සේ මිනිස්සුන්ගේ කතාබහට ලක්වුණු මංගල කරුණු මොනවාද කියන කාරණය දෙවිවරු අතරටත් ගියා. මේ වෙලාවෙ සක්‍ර දෙවියො කියනවා මනුස්ස ලෝකෙ බුදු කෙනෙක් පහළ වී සිටියදී දෙවිවරු මංගල කාරණා මොනවාද කියල විසඳන්න හදන එක සූර්යා පායලා තියෙද්දී පුංචි තාරකාවකගෙන් ආලෝකය එකතු කරනවා වගේ වැඩක් කියලා. දෙවියෙක් බුදුහාමුදුරුවන් ළඟට ගිහින් මංගල කාරණා මොනවාද කියලා විමසුවා.
* දෙවිවරුන්ගේ ස්වරූපය කෙසේද?
දෙවිවරු කියන්නේ මහා විශාල පින් ඇති අය. බොහොම පින් ඇති දෙවිවරු වැඩ ඉන්නේ චාතුර්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරති, පරිනිම්මිත, වසවර්ති කියන දිව්‍ය ලෝකවල. ඒ එකිනෙක දිව්‍ය ලෝකයක් අතර පරතරය යොදුන් 42000 ක් පමණ වෙනවා. දෙවිවරු පහළ වෙන්නේ ඕපපාතිකව. දෙවියන්ගේ යහනාවල පහළවන දිව්‍යංගනාවන් බිරින්දෑවරු වෙනවා. දෙවියන්ගේ ශරීර සියුම්. හැබැයි ඒ සියුම් දේවතාවන්ට ඝන ශරීර මවාගන්නත් පුළුවන්. එක්තරා අවස්ථාවක දෙවි කෙනෙකුට බුදුහාමුදුරුවො දැකපු සතුටට ඝන ශරීරයක් මවාගන්න අමතක වෙලාලු. බුදුහාමුදුරුවො ඉදිරිපිට හිටගන්න උත්සාහ කරන දෙවියන් වැල්ලට තෙල් වැක්කෙරුවා වගේ ගිලා බහිනවලු. ආයෙත් උඩට එනවාලු. බුදුහාමුදුරුවො ඒ වෙලාවෙ කියනවා දෙවිය, වහා සිහිය උපදවා ගන්න කියලා. ඒ මොහොතේ මේ දෙවියා කය ඝන කරගෙන ගොරෝසු ශරීරයක් මවා ගන්නවා.
* ස්වභාවික විපත්වලට දෙවියන් බලපෑම් කරනවද?
වැසි වසින්නේ දෙවියන් නිසා නොවෙයි. ස්වභාවිකව වහිනවා. අප ඒකට කියන්නේ වැසි චක්‍රය කියලයි. හැබැයි සෘද්ධි බලසම්පන්න වැස්ස වළාහක දෙවියන්ට වැසි වස්සවන්න වගේම වැසි ඇදහැලෙන්න සලස්වන්නත් පුළුනව්. ඒ නිසයි එදා මිනිස්සු “වැසි පිරිත” කියලා වැස්ස වළාහක දෙවියන්ට පිරිත් කියලා නිසි කලට වැසි ලබාදෙන්න කියලා ආරාධනා කළා.
ඊළඟට වාත වළාහක කියලා දෙවිවරු කොටසක් ඉන්නවා. වැඩි පීඩනයක් ඇති තැනකින් අඩු පීඩනයක් ඇති තැනකට සුළං හැමුවත් ඍද්ධි බල සම්පන්න වාත වලාහක දෙවියන්ට සුළඟේ වේගය අඩු, වැඩි කරන්න පුළුවන්. ඒ දෙවියන්ගේ ඍද්ධි බලයෙන් සුළං පාලනය කරන්න පුළුවන්. ඊළඟට සීත වළාහක, උෂ්ණ වළාහක කියල දෙවිවරු කොටසකුත් ඉන්නවා. ඒ දෙවිවරුන්ට සීතල, උණුසුම ආදී ස්වභාවික දෙයට බලපෑම් කරන්න පුළුවන්. අග්ගි වළාහක දෙවියන්ට ස්වභාවිකව එහා මෙහා යන වළාකුළුවලට ඍද්ධියෙන් බලපෑම් කරන්න පුළුවන්.
මිනිස්සු ගුණ දහම් පුරල ධාර්මිෂ්ඨ වෙද්දී දෙවියෝ මිනිස්සුන්ගේ යහපතට උදව් උපකාර කරනවා. හැබැයි, අධම්මික සූත්‍ර දේශනාවෙන් සඳහන් වන විදිහට මිනිස්සු දුස්සීල වුණොත් පව්කාර සමාජයක් ගොඩනැඟුණොත් භූමාටු දෙවියන්ගේ සිට අගනිටා බඹලොව දක්වාම දෙවියන් කලකිරෙනවා. එහෙම වුණොත් දේවකෝපයක් හටගන්නවා. ඒ කියන්නේ දෙවියන් මිනිස්සුන්ගෙන් පළිගන්නවා නෙවෙයි, ස්වභාවිකව ඇතිවන විපත්, විනාශයන්ට වෙනදා උපකාර කළ දෙවිවරු අධර්මිෂ්ඨ සමාජයක මිනිසුන්ව ආරක්ෂා කරගන්න ඉදිරිපත් වෙන්නේ නෑ. වැහැලා වැහැලා නැත්තට නැති වුණත් දෙවියන්ගේ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවලු. උදාහරණයක් කිව්වොත් කැලණිතිස්ස රජතුමා රහතන් වහන්සේ නමක් මරපු අපරාදෙට දේව කෝපයකින් මුහුද ගොඩගැලුවා. ඒ වගේම දෙවියන් අතර ඇතිවූ සුර අසුර යුද්ධයෙන් දේව කෝපයකින් මුහුද ගොඩගලලා ගම්මාන 1600 ක් යටවුණාලු. ඒ නිසා අධර්මිෂ්ඨ ලෝකයක කෙලෙස් බලවත් නම් ස්වභාවික විපත්වලදී දෙවියන් අහක බලාගන්නවා. හැබැයි ඒ අතර ඇතිවන විපත් හැමෝටම පොදුවේ බලපානවා.
එහෙම නම් දෙවියන්ගේ ඍද්ධි බලයෙන් ස්වභාවිකත්වයට බලපෑම් ඇතිකරන්න පුළුවන්.
* දෙවිවරු වැඩ සිටින්නේ දිව්‍ය තලවල පමණක් ද?
නැහැ. මනු ලොවත් දේවතාවො කොටසක් ඉන්නවා. වෘක්ෂ, පර්වත, වැව්, පොකුණු ආදිය විමාන කරගෙන පොළොව ආශ්‍රිතවත් දෙවිවරු ඉන්නව. ඒ අයට කියන්නේ භූමාටු දෙවියන් කියලයි. ඒ ඒ කඳුවලට අධිගෘහිත දෙවියන් සිටියා. දැන් සුමන සමන් දෙවියන් සිරිපාද කඳුයාය විමානය කරගත්තා. ඒ වගේම නමුනුකුල කන්ද අරක්ගත් ඉන්දක දෙවියන් ගැන සඳහන් වෙනවා. රෝහණ ප්‍රදේශය පාලනය කරපු මහසෙන් රජතුමා මරණින් පස්සේ මහසෙන් දෙවියන් ලෙස පෙනී සිටියා කියනවා.
ඒ වගේම ඒ ඒ ප්‍රදේශ පාලනය කරපු ප්‍රාදේශීය රජවරු ධර්මය දියුණු කරලා ගුණ දහම් දියුණු කරලා දේවත්වයට පත්වුණා කියලා අතීතයේ සඳහන් වුණා. පොළොව ආශ්‍රිතව ගස්වලට අධිගෘහිත වෘක්ෂ දේවතාවො ඉන්නවා. හැබැයි ඒ අය දිව්‍ය තලවල අය වගේ මහා බලවත් අය නෙමෙයි. ඒ අයගේ පිනේ ස්වභාවයට මනුලොව ආශ්‍රිතව පින් දහම් කරගෙන ඉන්නවා. මිනිස්සු පින්දහම් කරන ස්ථානවල වැදුම් පිදුම් කරන චෛත්‍යය, බෝධිය ඇසුරු කරගෙන බොහෝ දේවතාවෝ වැඩ ඉන්නවා. දෙවියන්ට පුද පූජා කරලා පින් දීලා ධාර්මිෂ්ඨව කටයුතු කරද්දී ඒ දෙවියන්ගෙන් මිනිස්සුන්ට උදව් උපකාර ලැබෙනවා.
* දිව්‍ය ආහාරපාන තිබියදී මිනිසුන් ලබාදෙන පූජා වට්ටි දෙවිවරු භාරගන්නවාද?
දෙවියන් කියන්නේ පූජා වට්ටි කන පිරිසක් නෙවෙයි. දෙවියන්ගේ පිනට දිව්‍ය භෝජන පහළ වෙනවා. අප දෙවියන්ට පූජා කරන්නේ පලතුරු වගේ අපට තිබෙන ප්‍රණීත දෙයක්. ඒවා දෙවිවරු ආහාර කර නොගත්තත් දෙවියන්ට පූජා වට්ටි තියලා පින් අනුමෝදන් කරද්දී ඒකට සතුටු වෙන දෙවිවරුන්ට දිව්‍ය තලවලදී දිව්‍ය භෝජන පහළ වෙනවා.
හැබැයි අපි පූජා වට්ටි තිබ්බත් නැතත්. පින් දුන්නත් නැතත් දෙවියන් කියන්නේ දෙව්ලොව සැප විඳින පිරිසක්. ඒ අයගේ පිනෙන් ඒ අය සිතන පතන විදිහට විමාන, ආහාරපාන පහළ වෙනවා. අපේ පිනෙන් යැපෙනවා නෙමෙයි. හැබැයි, බුදුරජාණන් වහන්සේ වදාළ “මහණෙනි, මිනිස්සු පින් දහම් කරලා ධාර්මිෂ්ඨව ජීවත්වෙලා දෙවියන්ට පින් දෙන විට ඒ පිනට කැමැත්තෙන් දෙවියන් අපට ආශීර්වාද කරනවා කියලා. මනුලොව ඉන්න අහවල් අය බොහොම ධර්මිෂ්ඨයි. ඒ අය දෙවියන් සිහිපත් කරලා පින් දෙනවා කියලා මේ අයට යහපතක්ම වේවා කියලා දෙවියන් මිනිස්සුන්ට ආශීර්වාද කරනවා. එහෙම නම් දෙවියන්ට පින්දීමේ වටිනාකම තියෙන්නේ පෙරළා මිනිස්සුන්ටමයි.
* දෙවිවරු යම් කාලයකදී මිනිසුන් අතරත් සැරිසරයිද?
දීර්ඝායු ඇති කාලවල සක්විති රජවරු පහළවෙනවා. අහසින් යන්න පුළුවන් රජවරු සිව්රඟ සේනාව පිරිවරාගෙන යද්දී දෙවිවරු අහසින් යනවා කියලා හිතනවා. ඒ කාලවලදී අහසෙ පහළ වෙන කල්ප වෘක්ෂ, විමාන මනුලොවත් පහළ වෙනවා.
ඒ කාලයට පින් ඇති දෙවිවරු හිතනවා දිව්‍ය ලෝකෙට වඩා මනුලොව සැප බහුලයි කියලා. ඒ නිසා අපි මනුලොව හිත පිහිටමු කියලා දිව්‍ය ස්වරූපයෙන් දෙවිවරු මනුලොවට වඩිනවා. ඒ කාලවලට තමයි දෙවිවරු මිනිස්සුන්ට දකින්න ලැබෙන්නේ.
හැබැයි මිනිස් ආයුෂ පිරිහිලා පිරිහිලා අවුරුදු 100 ක් පහළට පිරිහෙනවා කියන්නේ මිනිස් ලොව අපායවල් හා සමානයි. මිනිස්සුන්ගේ රාග, ද්වේෂ, මෝහ ඇවිස්සිලා විකෘති වූ කෙලෙස් බලවත් වූ කාලෙදි මිනිස් ආයුෂ සියයෙන් පහළට බහිනවා. ඒ කාලවලට දෙවියන් මේ පැත්තවත් හැරිලා බලන්නේ නෑ කියනවා. ඒ කාලෙට වැඩිපුර අපායවල්වලින් ආපු අය විතරයි මනුලොව ඉතුරු වෙන්නේ. එහෙමනම් දෙවියන් මනුලොව හිත පිහිටුවන්නේ දීර්ඝායුෂ ඇති පින් ඇති කාලවල විතරයි. ඒ කාලවලදී සක්විති රජවරු අහසින් ගිහින් ලෝකෙම සිල්වත් කරනවා. සක්විති රජවරුන්ගේ අවවාද මත පංචශීලය ලෝකයටම අනුශාසනා කරලා ලෝකයම පාලනය කරන අහසින් යන රජවරු ඉන්නවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති පින්වත් රජවරුන්ට දිව්‍ය විමාන වගේ මනුලොව විමාන මැවෙනවා කියනවා. දැන් අපට මේවා සුරංගනා කතා වගේ. මොකද අද අප ඉන්නේ අවුරුදු සීයෙන් පහළට පිරිහුණු මිනිස් ආයුෂ ඇති යුගයක. ඒ නිසා ඒ දීර්ඝායු ඇති කාලවල දෙවියන් මනුලොව සැරිසරනවා කියලා අද අපට හිතන්නවත් බෑ.
* සමහර මිනිස්සු දේව වරමින් සාත්තර කියනවා. මේවා කෙතෙක් දුරට සත්‍යය ද?
දේවාල ගත්තාම දෙවියන්ගේ නාමෙන් මිනිස්සු නම් විකුණනවා. ඔය එක දෙවි කෙනෙක්වත් දේවාල අස්සටවත්, මිනිස්සු අතරටවත් එන්නේ නෑ. දේශනාවෙ කියනවා මිනිස්සුන්ගේ සිරුරේ දුර්ගන්ධය අශූචි වළක දුර්ගන්ධය හා සමානව යොදුනක් පමණ දුරට දෙවියන්ට දැනෙනවලු.
අර දෙවියන් වරම් දෙනවා. මේ දෙවියන් වරම් දෙනවා කියලා දෙවියන්ගේ නම් විකුණුවට සාත්තර කියන අයට බොහෝ විට වරම් දෙන්නේ අමනුස්සයන්. සමහර විට තමන්ගේ මැරුණු අම්මා, තාත්තා, බාප්පා වරම් දෙන්න පුළුවන්. ඇත්තටම බුදුහාමුදුරුවන්ගේ නම මිනිස්සු කොච්චර විකුණනවද? බුදු ගුණෙන් කරන්නේ කියලා සූනියම් කරනවා. බුදු ගුණෙන් සූනියම් කරන්න පුළුවන්ද? බැහැ. නමුත් කවුද මේවට විරුද්ධව කතා කරන්නේ? එහෙම නම් දෙවියන්ගේ නම් විකුණලා දේව වරමින් සාත්තර කියනවා කියන්නේ තනිකරම බොරු.
* බුදුවෙන්න පාරමිතා පුරන්න දෙවිවරු උදව් උපකාර කරනවා නොවේද?
ඇත්තටම බෝධිසත්වයන් වහන්සේලාට පාරමී පුරන්නත් උදව් වුණේ දෙවිවරු. සක්‍ර දෙවියන් හැම වෙලාවෙම බලනව. බෝසතාණන් වහන්සේට බුදුවෙන්න පාරමී පුරන්න මොනවද අඩු කියලා. දවසක් ඔබවහන්සේට සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න දාන පාරමිතාවේ එක් කොටසක් අඩුයි කියලා සක්‍ර දෙවියන් දේවතාවෙක් යවලා බෝධිසත්වයන්ට දෙවි ලොවෙන් චුත වෙලා මනුලොව වෙස්සන්තර ආත්මෙ කුසිත දේවියගෙ කුස පිළිසිඳගන්න කිව්වා. ඒ ආත්මයෙම 60,000 ක් දෙවිවරු දිව්‍ය ලෝකයෙන් චුත වෙලා ඒ නගරෙම අම්මාවරුන්ගේ කුස තුළ පිළිසිඳ ගත්තා කියනවා. එහෙම නම් අපට පෙනෙනවා පාරමිතා පුරන්න දෙවිවරු කොපමණ උදව් උපකාර කරනවද කියලා බුදුවෙන ආත්මයක් හැම බෝසතාණන් වහන්සේ කෙනෙකුටම ලෝකයා සසර කතරින් එතෙර කරවන්න මිනිස් මව්කුසක උපත ලබන්න කියලා ආරාධනා කරන්නෙත් දෙවිවරු. ඒවගේම සතර පෙරනිමිති හැම බෝසතාණන් වහන්සේ කෙනෙක්ම දකින්නේ සක්‍ර දෙවියන්ගේ මැදිහත්වීමෙන්. බෝසතාණන් වහන්සේ විමුක්තිය කරා යන ගමනේදී කපපු කෙස්වැටිය ශක්‍ර දෙවියන් රන් කරඬුවකින් අරගෙන තව්තිසා දෙවිවරු සිළුමිණ සෑය ඉදිකළා. බෝසතාණන් වහන්සේගේ සළුපිළි ඝටීකාර දෙවියන් රන් කරඬුවකින් පිළිඅරන් බඹලොව සිළුමිණ සෑය ඉදිකළා. ඒ වගේම බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරද්දී ආහාර ගැනීම සම්පූර්ණයෙන් නවත්වන්න අධිෂ්ඨාන කළා. එහිදී දෙවිවරු පෙනී හිටලා කිව්වේ “ඔබවහන්සේ කිසිම ආහාරයක් නොගත්තොත් ඔබවහන්සේගේ රෝම කූප අතරින් දිව්‍යඕජාව ශරීරයට ඇතුල් කරලා බෝසතාණන් වහන්සේ ජීවත් කරවනවා කියලයි. ඒවගේම බුද්ධත්වයට පත්වූ බුදුහාමුදුරුවන්ගේ යමා මහා පෙළහර දැකපු භූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලොව දක්වා දෙවිවරුන්ගේ සැක සංකා දුරු වී බුදු කෙනෙක් ලොව පහළ වුණා කියලා ප්‍රීති ඝෝෂා නැඟුවා. බුද්ධත්වයෙන් සිව්වන සතියේදී සක්‍ර දෙවියන් රුවන් කුටියක් මැව්වා කියලා දේශනාවෙ සඳහන් වෙනවා. බුද්ධත්වයෙන් පසුවත් ධර්මය දේශනා කරන්න කියලා ආරාධනා කරන්නෙත් සහම්පතී බ්‍රහ්මරාජයා. මේ විදිහට හතළිස් පස් වසරක්ම ධර්මය දේශනා කරපු බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට යන වෙලාවෙත් ශක්‍ර දෙවියන්ට කියන්නේ මේ ශාසනයේ දියුණුවට උදව් උපකාර කරන්න කියලයි. “මා පිරිනිවන් පෑවත් මාගේ ශාසනය ලංකා භූමියේ පවතීවා කියලා බුදුහාමුදුරුවො වදාළා."