876. සතුටින් ජීවත් වීම යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදු දහමට අනුව අපි සතුටින් ජීවත් වීම යනු කුමක්ද?

A. “ගෘහපතිය, කාමභෝගී ගිහියා විසින් කලින් කල, අවස්ථාවෙන් අවස්ථාව ලැබියයුතු මේ සැප සතරක් වෙත්. කවර සතරක්ද යත්, අර්ත්‍ථ සුඛය, (ඇති සැපය), භොග සුඛය, (පරිභොග සැපය), අණන සුඛය, (ණය නැති සැපය), අනවජ්ජ සුඛය, (නිවරද සැපය) යන සතරයි.

“ගෘහපතිය, අර්ත්‍ථ සුඛය කවරේද? ගෘහපතිය, මෙහි කුල පුත්‍රයෙකුට උත්‍ථාන වීර්‍ය්‍යයෙන් සරිකර ගත් බාහු බලයෙන් රැස්කළ ඩහදිය වැගිරවීමෙන් දැහැමින් ලත් ධාර්මිකවූ වස්තුව ඇත්තේද, හෙතෙම උත්‍ථාන වීර්‍ය්‍යයෙන්, බාහු බලයෙන්, ඩහදිය වගුරුවීමෙන්, දැහැමින් ලත් ධාර්මික වස්තුව ඇතැයි සැපක් ලබයි. සොම්නසක් ලබයි. ගෘහපතිය, මේ අර්ත්‍ථ සුඛයයි.

“ගෘහපතිය, භොග සුඛය කවරේද? ගෘහපතිය, මෙහි කුලපුත්‍ර තෙම උත්‍ථාන වීර්‍ය්‍යයෙන්, බාහු බලයෙන්, ඩහදිය වගුරුවීමෙන්, ධර්මික කර්‍මයන්ගෙන්, දැහැමින් ලත් වස්තුව පරිභොග කරයි. පින්ද කරයි. හෙතෙම උත්‍ථාන වීර්‍ය්‍යයෙන් බාහු බලයෙන්, ඩහදිය වගුරුවීමෙන්, ධාර්මික විධියෙන් දැහැමින් ලත් වස්තුව පරිභොග කරමි, පින්ද කරමියි සැපක් ලබයි. ගෘහපතිය, මේ භොග සුඛයයි කියනු ලැබේ.”

“ගෘහපතිය, අණන සුඛය කවරේද, ගෘහපතිය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම ස්වල්පයක් හෝ බොහෝ හෝ කිසිවකුට කිසිවක් ණය නැත්තේද, හෙතෙම ස්වල්පයක් හෝ වැඩියක් හෝ කිසිවෙකුට කිසිවක් ණය නැතැයි සැපක් ලබයි. සොම්නසක් ලබයි. ගෘහපතිය, මේ අණන සුඛයයි.”

“ගෘහපතිය, අනවජ්ජ සුඛය කවරේද? ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම නිවැරදි කාය කර්‍මයෙන් යුක්තවූයේ වේද, නිවැරදි වාක් කර්‍මයෙන් යුක්තවූයේ වේද, නිවැරදි මනො කර්‍මයෙන් යුක්තවූයේ වේද, හෙතෙම නිවැරදි කාය කර්‍මයෙන් යුක්තවූයේ වෙයි. නිවැරදි වාක් කර්‍මයෙන් යුක්තවූයේ වෙයි. නිවැරදි මනො කර්‍මයෙක් යුක්තවූයේ වෙමියි. සැපක් ලබයි. සොම්නසක් ලබයි. ගෘහපතිය, මේ අනවජ්ජ සුඛයයි කියනු ලැබේ. ගෘහපතිය, මේ සතර සැපය කාමභෝගී ගිහියා විසින් කලින් කල, අවස්ථාවෙන් අවස්ථාව ලැබිය යුත්තාහ.”

“අනවජ්ජ සුඛය දැන නැවත අර්ත්‍ථ සුඛය සිහි කරන්නේය. භොගය සුවසේ අනුභව කරණ මනුෂ්‍ය තෙම නැවත ප්‍රඥාවෙන් මනාසේ බලයි. නුවණින් බලන්නාවූ ඥානවන්ත පුද්ගල තෙමේ, පළමු සැප තුන අනවජ්ජ සුඛයාගේ සොලොස් කලාවෙන් කලාවටවත් නොඅගීයයි දැනගනියි.”

https://pitaka.lk/main?n=29162

A. “මහණෙනි, ධර්‍ම තුනකින් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි. කවර තුනකින්ද?

“වරද සහිත කාය කර්‍මයෙන්ද, වරද සහිත වාක් කර්‍මයෙන්ද, වරද සහිත මනො කර්‍මයෙන්ද වෙයි. මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දත යුතුයි.

“මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතුයි. කවර තුනකින්ද ? නිරවද්‍ය කාය කර්‍මයෙන්ද, නිරවද්‍ය වාක් කර්‍මයෙන්ද, නරවද්‍ය මනො කර්‍මයෙන්ද වෙයි. මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දත යුතු.

“මහණෙනි, එහෙයින් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන දුරුකොට යම් ධර්‍ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දත යුත්තේද, ඒ ධර්‍ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.”

https://pitaka.lk/main?n=28107

A. “සැපය වනාහි වේදයිත සුඛය - විමුක්ති සුඛය (අවේදයිත සුඛය) කියා දෙපරිදි වේ. චක්ෂුරාදි ඉන්ද්‍රියයන් කරණකොට ගෙන විඳින්නා වූ සැපය වේදයිත සුඛ නම් වේ. හොඳ දේවල් හොඳ පුද්ගලයන් දැකීමෙන් ද, හොඳ ශබ්ද ඇසීමෙන් ද, හොඳ ගන්ධ ආඝ්‍රාණය කිරීමෙන් ද, හොඳ රසයන් වැළඳීමෙන් ද, ඇඟට හොඳ දේවල් ඇඟේ සැපීමෙන් ද, යාන වාහන ගෙවල් වතු කුඹුරු වස්ත්‍රාභරණ මිළ මුදල් ආදි කාම වස්තූන් ලැබීමෙන් ද, තනතුරු ගරු බුහුමන් ලැබීමෙන් ද, තවත් කැමති වන දේවල් ලැබීමෙන් ද සිතට - කයට ඇති වන සැප සියල්ල ම වේදයිත සුඛයෝ ය.

පැමිණ ඇත්තා වූ ද, මතු පැමිණෙන්නට ඇත්තා වූ ද, දුක් කරදරවලින් විපත්වලින් මිදීම විමුක්ති සුඛය ය. නිවන් සුඛය වේදයිත සුඛයක් නො වේ. එය විමුක්ති සුඛයෙකි. පැමිණියා වූ ඇතැම් දුක්වලින් මිදීම සඳහා මනුෂ්‍යයන් බොහෝ වෙහෙසෙන්නේ, බොහෝ ධනය වියදම් කරන්නේ, මුදල් නැති කල්හි ඉඩ-කඩම් පවා විකුණා වියදම් කරන්නේ, වාසය කරන ගෙය පවා උකස් කොට මුදල් ගෙන වියදම් කරන්නේ ඒ දුකින් මිදීම වූ විමුක්ති සුඛය ඉතා හොඳ දෙයක් - වටිනා දෙයක් නිසා ය. විමුක්ති සුඛය පලක් නැති නො වටිනා දෙයක් නම්, මනුෂ්‍යයෝ එය සඳහා වියදම් නො කරන්නා හ. බලවත් දුකකින් පෙළෙන්නහුට කොතෙක් ධනය ඇතත් - නෑ මිතුරන් ඇතත් සුවයක් නොලැබිය හැකි ය. ධනාදියෙන් ලබන වේදයිත සුඛයන් විඳිය හැකිවීමටත් විමුක්ති සුඛය තිබිය යුතුම ය. එබැවින් විමුක්ති සුඛය ලෝකයේ උසස් සුඛය බව කිය යුතුය. ...”

https://pitaka.lk/books/abhidharma-margaya/7-11.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll