Q. මට තවත් ප්‍රස්නය තිබෙ එක එක්න එක එක කතා කියනවා මට හරි විස්තරයක් ඕන සංස්කරයෝ යන වචනයේ තෙරුම පැහැදිලි කරන්න.
A / R. “‘සංඛාර’ යනු අර්ථ කීපයක යෙදෙන වචනයෙකි. “අනිච්චා වත සංඛාරා” යන්නෙහි සංඛාරය යි කියනුයේ ප්‍රත්‍යයන් විසින් ඇති කරන ලද ධර්මයන්ට ය. “අවිජ්ජා පච්චයා සංඛාරා” යන මෙහි සංඛාරය යි කියනුයේ පින් - පව්වලට ය. තවත් ක්‍රමයකින් කියතහොත් සත්ත්වයන්ගේ කැරුම් කියුම් සිතුම් සංඛාරයෝ ය. ඒවාට සංඛාරය යි කියනුයේ මතු විපාකයක් ඇති කරන ධර්මයෝ ය යන අර්ථයෙනි. විභංග පාළියෙහි වනාහි :-
A / R. “‘සංඛාර’ යනු අර්ථ කීපයක යෙදෙන වචනයෙකි. “අනිච්චා වත සංඛාරා” යන්නෙහි සංඛාරය යි කියනුයේ ප්‍රත්‍යයන් විසින් ඇති කරන ලද ධර්මයන්ට ය. “අවිජ්ජා පච්චයා සංඛාරා” යන මෙහි සංඛාරය යි කියනුයේ පින් - පව්වලට ය. තවත් ක්‍රමයකින් කියතහොත් සත්ත්වයන්ගේ කැරුම් කියුම් සිතුම් සංඛාරයෝ ය. ඒවාට සංඛාරය යි කියනුයේ මතු විපාකයක් ඇති කරන ධර්මයෝ ය යන අර්ථයෙනි. විභංග පාළියෙහි වනාහි :-
“තත්ථ කතමේ අවිජ්ජා පච්චයා සංඛාරා? පුඤ්ඤාභිසංඛාරෝ, අපුඤ්ඤාභිසංඛාරෝ, ආනෙඤ්ජාහි සංඛාරෝ, කායසංඛාරෝ, වචීසංඛාරෝ, චිත්ත සංඛාරෝ ” යි.
එක් ක්‍රමයකින් පුඤ්ඤාභිසංඛාරය, අපුඤ්ඤාභි සංඛාරය, ආනෙඤ්ජාභිසංඛාරය යන තුන ද, තවත් ක්‍රමයකින් කායසංඛාරය, වචීසංඛාරය, චිත්තසංඛාරය යන තුන ද අවිද්‍යාව නිසා හටගන්නා වූ සංඛාරයෝ ය යි දක්වන ලදී. එහි දානමය වූ ද ශීලමය වූ ද භාවනාමය වූ ද කාමාවචර කුශල චේතනාව හා භාවනාමය වූ රූපාවචර කුසල චේතනාව ද පුඤ්ඤාභිසංඛාර නමි. කාමාවචර වූ අකුශල චේතනාව අපුඤ්ඤාභිසංඛාර නමි. අරූපාවචර කුශල චේතනාව ආනෙඤ්ජාභිසංඛාර නමි.
කායසංඛාරාදි තුන අතුරෙන් ශරීරය උපකරණයක් කොට ගෙන එහි ආධාරයෙන් කර්මය සිදු කරන කුශලාකුශල චේතනාව කායසංඛාර නම් වේ. මලක් පුදන තැනැත්තා එය සිදු කරනුයේ මල අතින් ගෙන පූජාසනයෙහි තැබීමෙනි. අතේ උපකාරය නැතිව මල් පිදීමේ චේතනාවට පමණක් එය නො කළ හැකි ය. එබැවින් අතින් ගෙන මල් පුදන්නා වූ කුශල චේතනාව කාය සංඛාරයකි. සතකු මරන තැනැත්තා එය කරනුයේ අතින් හෝ අතින් ගත් ආයුධයකිනි. ශරීරයේ ආධාරය නැතිව චේතනාවට ම ප්‍රාණවධය නො කළ හැකි ය. එබැවින් සතකු මරන්නා වූ ප්‍රාණඝාත චේතනාව කායසංඛාරයකි. වචනය උපකරණයක් කොට ගෙන එහි ආධාරයෙන් කාර්‍ය්‍යය සිදු කරන චේතනාව වචීසංඛාර නමි. කථා කිරීමේ මාර්ගයෙන් ක්‍රියා සිද්ධිය කරන චේතනාවෝ වචීසංඛාරයෝ ය. කයේ හෝ වචනයේ හෝ උපකාරයක් වුවමනා නැති, මෙත් කිරීම් ද්වේෂ කිරීම් ආදි වශයෙන් පවත්නා කුශලාකුශල චේතනාවෝ චිත්තසංඛාරයෝ ය.
මෙසේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නා සංඛාරය දෙයාකාරයකින් දක්වන ලද නමුත් ධර්ම වශයෙන් ඒවායේ වෙනසක් නැත. පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාර ආනෙඤ්ජාභිසංඛාර ය යි කී කල්හි ද සංඛාර සියල්ල ම ගැනෙන්නේ ය. කායසංඛාර වචීසංඛාර චිත්තසංඛාරය යි කී කල්හි ද සංඛාර සියල්ල ම ගැනෙන්නේ ය. ශරීරයේ ආධාරයෙන් ක්‍රියා සිද්ධිය කරන පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාරයෝ කායසංඛාරයෝ ය. කථාකිරීමෙන් ක්‍රියා සිද්ධිය කරන පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාරයෝ වචීසංඛාරයෝ ය. ක්‍රියා සිඬිය සඳහා ශරීරයේ හා කථාවේ ද උපකාරයක් උවමනා නො වන පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාරයන් හා ආනෙඤ්ජාභිසංඛාරයෝ චිත්ත සංඛාරයෝ ය.”
“ඇවැත්නි, විසාඛයෙනි, මේ සංස්කාරයෝ තුන්දෙනෙකි. කාය සංස්කාරය, වාක් සංස්කාරය, චිත්ත සංස්කාරය” (යන තුනයි.)
“ආර්‍ය්‍යාවෙනි, කාය සංස්කාරය කවරේද? වාක් සංස්කාරය කවරේද? චිත්ත සංස්කාරය කවරේද?”
“ඇවැත් විසාඛයෙනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ කාය සංස්කාරයෝයි විතර්ක විචාරයෝ වාක් සංස්කාරයෝ වෙත්. සංඥාවත්, වේදනාවත් චිත්ත සංස්කාරයයි.”
“ආර්‍ය්‍යාවෙනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ කවර හෙයින් කාය සංස්කාර නම් වේද? විතර්ක විචාර දෙක කවර හෙයින් වාක් සංස්කාර නම් වේද? සංඥා වේදනා දෙක කවර හෙයින් චිත්ත සංස්කාර නම් වේද?”
“ඇවැත් විසාඛයෙනි, ආශ්වාස ප්‍රශ්වාසයෝ වනාහි කයෙහි හටගත්තාහුය. මේ ධර්මයෝ වනාහි කය පිළිබඳය (හෙවත් කය ඇතිකල්හි මිස නැති කල්හි ඇති නොවන්නාහ.) එහෙයින් ආශ්වාස ප්‍රශ්වාස දෙක කාය සංස්කාර නමි.
ඇවැත් විසාඛයෙනි, පළමුකොටම කල්පනා කොට විචාරණය කොට, පසුව වචන කථාකරනු ලැබේ. එහෙයින් විතර්ක විචාරයෝ වාක් සංස්කාරයි;
සංඥාවත් වේදනාවත් සිතෙහි හටගන්නාහුය. මේ ධර්මයෝ සිත පිළිබඳය, (සිත ඇති කල්හි ම හටගන්නාහුය.) එහෙයින් සංඥාවත් වේදනාවත් චිත්ත සංස්කාරයි.”