166. එච්චර ම දුර්ලභයි නං, මෙච්චර ම ජනගහනය වැඩිවෙයි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "1950 ලෝක ජනගහනය බිලියන 4යි... දැන් 2017 වෙද්දි ලෝක ජනගහනය බිලියන 7.1ක් වෙලා තියනවා.
බුදු දහමෙ කියවෙනවා මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න එක ඉතාම අපහසු දෙයක්, කන කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවා වගේ වැඩක් කියලා..
ඒත් කොහොමද දැන් මේ මිනිස් ජනගහනය එන්න එන්න වැඩිවෙන්නෙ? කුසල් රැස් කරන මිනිස්සු ප්‍රමාණය වැඩි වෙලාද? වෙනත් ආත්මභාව වල සිටින අය මිනිස් ආත්මභාව ලබනවද?
ඉස්සරහට 2050 වන විට මේ සිටින ජනගහනය දෙගුණ වෙයි කියලත් බලාපොරොත්තු වෙනවා. එය වන්නේ කෙසේද?
මම 100%ක් බෞද්ධ වන අතර ඒ නිසාම මට මේ ප්‍රශ්නය පැන නැංගා. බුදුන් වහන්සේගේ දැනුම අපිරිමිතයි. නවීන යැයි දැනට දියුණුවී ඇති ප්‍රමාණයෙන් විද්‍යාවෙන් සොයාගෙන ඇති දෙයත්, ඊට වඩා බොහෝ දෙයත් බුදුන් වහන්සේ දේශනා කොට තිබෙනවා. ඒ සියලු දේම සොයා ගන්නට විද්‍යාවට මේ කාලයේ නොහැකි වේවි. අපේම සමහරු දන්නෙත් නැහැ බුදුන් වහන්සේ දැනට විද්‍යාව අලුතෙන් සොයා ගත්තා කියා ඉදිරිපත් කරන දේවල් සියල්ලම වාගෙ බුදුන් වහන්සේ පෙර දේශනා කර තිබෙන බව.
මට තියන ප්‍රශ්නය මේකයි. අලුතෙන් ආත්ම හට ගන්නවාද.. නැති නම් මෙවන් අති විශාල ප්‍රමාණයක් මිනිසුන් දැනට සිටින්නෙත්, අනාගතයේ අනිවාර්යයෙන්ම තවත් බොහෝ වැඩි වන්නෙද කෙසේද.. අප දන්නා හැටියට අප මෙම විශ්වය පහල වූ දා පටන් (මෙම කල්පය පහල වූ දා පටන්) විවිධ ආත්මභාව වල උපත ලබමිනුයි මේ ජීවිතයට පැමිණ තිබෙන්නේ. ඒ අනූව අලුතෙන් ආත්ම නිර්මාණය වීම විය හැක්කද.. වෙනත් ලෝකවල සිටින ජීවීන් ; දෙවියන් පෘතුවියේ මිනිස් ආත්මභාව වල ඉපදීමද සිදුවන්නේ.. නොනැවතී වර්ධනය වන මිනිස් වර්ගයා පැහැදිලි කරන්නේ කෙසේද?"

A. “01 ප්‍රශ්නය – මිනිසත් බව ලැබීම “කණ කැස්බෑවකු” විය සිදුරින් අහස බැලීම වැනි දුර්ලභ වූ දෙයකි. නමුත් වර්තමානයේ ජනගහණය වේගයෙන් වර්ධනය වීමක් පෙනේ. මෙයට හේතුව කුමක් ද? මෙයින් පෙනෙන්නේ පින්වන්තයන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවීම ද?
පිළිතුර - සත්වයන්ගේ පුනර්භවය අනුව මිනිසත් බව ලැබීම ඉතා දුර්ලභය. සැදැහැසිතින් ඉතා කුඩා ප්‍රසාදයක් තුනුරුවන් කෙරෙහි වඩන අයෙක් දිව්‍ය සම්පත් ලබති. සමාජ හිතකාමී හා සත්ව හිතවාදී සුළු ක්‍රියාදාමයකින් වුව දිව්‍ය ලෝකය ලැබිය හැකි බව “විමාන වත්ථු” විමසීමෙන් පෙනේ.
මනුෂ්‍ය භවය සුගති භව අතර විශේෂයි. ලොව්තුරු බුදුවරු පහළ වන්නේ මිනිස් ලෝකයේ මිනිසකු ලෙසයි. වර්තමාන මිනිස් ලෝකයේ සිටින සියලු මනුෂ්‍යයෝ ම පව්කාරයෝ නොවෙති. මිනිසා පව්කාරයෙකු ලෙස පවසනුයේ නිර්මාණවාදී ආගම්වලයි. මිනිස් භවය ලැබීමම මහා පිනකි. මේ මහා පින වැරදි කාය-වාග්-කර්ම නිසා නසා ගන්නෝ ලොව බහුලයි. එබැවින් මිය යන්නවුන් අතරින් කොටසක් අපා ගත වෙති. පුණ්‍ය චේතනා ගොඩනගා ගන්නා බෞද්ධයෝ අපමණ සිටිති. ලෝක ජනගහණයෙන් මිලියන 550 පමණ වන බෞද්ධයන් අතර දරුණු පව් කරන්නෝ අල්ප වෙති. මියන්මාරය, තායිලන්තය, ලංකාව වැනි රටවල ඇති පරිත්‍යාගී ගුණය සලකන විට සුගති භව පුරවන්නන් සිටින බව පෙනේ. ලෝක ජනගහණය වැඩිවීම ස්වභාවික සන්සිද්ධියකි. දෙව්ලොවින්, බඹලොවින්, චුත වන හා මිනිස් ලොව දී මරණයට පත්ව නැවත මිනිස් භවය ලබන සත්වයෝ අප්‍රමාණව සිටිති.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll