Q. කිසිම ශ්‍රද්ධාවක් නැති කෙනෙක්, බුදු දහම විනාශ කිරීමේ අරමුණින් මුළු ත්‍රිපිටකයම අටුවා සහිතව ඉගෙන ගතහොත් ඔහු පැහැදී සැබෑ බෟද්ධයෙක් වේවිද?
A / R“පර්‍ය්‍යාප්ති ධර්මය ගැනීමේ ක්‍රම ද තුනක් ඇත්තේ ය. ඉන් එක් ක්‍රමයක් සාවද්‍යය ය. දෙකක් නිරවද්‍යය.
ගන්නා වූ ක්‍රමය අනුව ඒ පර්‍ය්‍යාප්ති ධර්මය අලගද්දූපම පරියත්තිය, නිත්ථරණත්ථ පරියත්තිය, භණ්ඩාගරික පරියත්තිය කියා තෙවැදෑරුම් වේ.” ...
“මාර්ග ඵල නිර්වාණ සංඛ්‍යාත නිෂ්පර්‍ය්‍යාය ධර්මය ලැබීමේ, එයට පැමිණීමේ මඟ දැක්වීම් වශයෙන් තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇති පිටකත්‍රය සංඛ්‍යාත පර්‍ය්‍යාප්ති ධර්මය ද, බුදුරජාණන් වහන්සේගේ ධර්ම දායාදය ලෙස පැවිද්දන් විසින් පිළිගත යුතු ය. පර්‍ය්‍යාප්ති ධර්මය ගැනීමේ ක්‍රම ද තුනක් ඇත්තේ ය. ඉන් එක් ක්‍රමයක් සාවද්‍යය ය. දෙකක් නිරවද්‍යය.
ගන්නා වූ ක්‍රමය අනුව ඒ පර්‍ය්‍යාප්ති ධර්මය අලගද්දූපම පරියත්තිය, නිත්ථරණත්ථ පරියත්තිය, භණ්ඩාගරික පරියත්තිය කියා තෙවැදෑරුම් වේ.
‘අලගද්ද’ යනු විෂයෙන් සම්පූර්ණ සර්පයාට නමෙකි. නො මනා ලෙස අල්ලා ගත් සර්පයකු බඳු පර්ය්‍යාප්තිය අලගද්දූපම පරියත්ති නම් වේ. සර්පයන් සොයන පුරුෂයකු වනයෙහි ඇවිදිනුයේ මහත් වූ අලගද්දයකු දැක වලගයෙන් හෝ කඳින් ඌ ඇල්ලුව හොත් සර්පයා විසින් දෂ්ට කරනු ලැබ ඒ පුරුෂයාට මැරෙන්නට හෝ මහත් දුකට පත්වන්නට හෝ සිදු වන්නේ ය. යම් පැවිද්දකු වාද කොට අනුන් පැරදවීම පිණිස හෝ වාදයෙන් මිදීම පිණිස හෝ ප්‍රසිද්ධ වී උසස් කෙනකු වීමේ අදහසින් හෝ බණ කියා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීමේ අදහසින් හෝ තථාගතයන් වහන්සේ වදාළ ධර්මය උගතහොත් ඒ පැවිද්දාහට නො මනා ලෙස ඇල්ලූ සර්පයාගෙන් මෙන් නපුරක් වන්නේ ය. යහපතක් සිදු නො වන්නේ ය. ඒ ලාමක අදහස්වලින් ධර්මය උගන්නා පැවිද්දාහට ඒ ධර්මය අවබෝධ වන්නේ ද නැත. උගත් ධර්මය නිසා ඔහු තුළ මද මාන දර්ප තෘෂ්ණාදි බොහෝ පාප ධර්මයෝ ඇති වෙති. ඒවා නැඟී සිටීමෙන් ඒ පැවිද්දා තමාට ලාභ සත්කාර ලැබෙන පරිදි නොයෙක් අතට බණ පද පෙරළමින් වැරදි ලෙස මහජනයාට කියා අනුන්ව පහත් කොට දක්වා තමා උසස් කොට දක්වා මරණින් මතු නිවන් ලැබීම සඳහා තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මය නිසා අපාගත වන්නේ ය. බණ ටිකක්වත් කියන්නට නූගත හොත් රටේ සිටීම අපහසු ය යි සිතා ඇතැම් පැවිද්දෝ ජීවනෝපායයක් වශයෙන් ධර්මය උගනිති. එය අලගද්දූපම පරියත්තියම ය.
තමාගේ සම්මෝහය දුරු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ලෝකයේ සැබෑ තත්ත්වය සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් තමාගේ දොස් දුරු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් නො වරදවා භාවනා කළ හැකි වීමේ බලාපොරොත්තුවෙන් නිවන් මඟ සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශීලය හොඳින් රැකිය හැකි වීමේ බලාපොරොත්තුවෙන් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය උගත යුතු ය. ධර්මය අවබෝධ වන්නේ ද එසේ යහපත් අදහසින් උගන්නා තැනැත්තාට ය. යහපත් අදහසින් උගත් ධර්මය සංසාරයෙන් එතරවීමට හේතු වන බැවින් නිත්ථරණත්ථ පරියත්ති නම් වේ. එයට නිස්සරණත්ථ පරියත්ති යන නාමය ද ව්‍යවහාර වේ.
සකල ක්ලේශයන් ප්‍රහාණය කොට අර්හත්වයට පැමිණීමෙන් පර්‍ය්‍යාප්ති ධර්මයෙන් ගත යුතු ප්‍රයෝජනය ගෙන අවසන් කළා වූ රහතන් වහන්සේලා ද සමහර විට ධර්මය ආරක්‍ෂා කරනු පිණිස එය උගනිති. රහතුන් විසින් එසේ උගත් ධර්මය භණ්ඩාගරික පරියත්ති නම් වේ. (ධම්ම දායාද - අලගද්දූපම සූත්‍ර බලනු)”
A / R. {“… “එකල්හි වනාහි සුසීම නම් පරිබ්‍රාජක තෙම මහත්වූ පරිබ්‍රාජක පිරිස සමග රජගහනුවර වාසය කෙරෙයි. ඉක්බිති සුසීම පරිබ්‍රාජකයාගේ පිරිස සුසීම පරිබ්‍රාජකයාට මෙය කීවාහුය. “ඇවැත් සුසීමය යනු මැනවි. ඔබ ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරෙනු මැනවි. ඔබ ධර්මය උගෙන අපට කියවනු මැනවි. ඒ ධර්මය අපි උගෙන, ගිහියන්ට කියන්නෙමු. මෙසේ අපිද, (මිනිසුන් විසින්) සත්කාර කරන ලද්දෝ, ගරුකාර කරන ලද්දෝ, බුහුමන් කරන ලද්දෝ, පුදන ලද්දෝ, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර ලබන ලද්දෝ වෙමුයි” කියායි. ….
‘ස්වාමීනි, බාලයකුසේ, මුළාවූවෙකුසේ, අදක්ෂයකුසේ, වැරැද්ද මා ඉක්මවා ගියේය. ඒ මම මෙසේ මනාකොට දේශනා කරන ලද, ශාසනයෙහි දහම් හොරෙක්ව පැවිදිවූයේ වෙමි. ස්වාමීනි, ආයති සංවරය පිණිස (මත්තෙහි සංවරවීම පිණිස) භාග්‍යවතුන් වහන්සේ ඒ මාගේ වරද, වරද වශයෙන් පිළිගන්නා සේක්වා”. “සුසීමය, එසේනම් බාලයකුසේ මුළාවූවෙකුසේ, අදක්ෂයකුසේ වරද, නුඹ ඉක්මවා ගියේය. ඒ නුඹ මෙසේ මනාකොට දේශනා කරන ලද, ශාසනයෙහි දහම් හොරෙක්ව පැවිදිවූයෙහිය.
“සුසීමය, යම් හෙයකින් වනාහි නුඹ වරද, වරද වශයෙන් දැන, ධර්මය සේ පිළියම් කෙරෙහිද, නුඹගේ ඒ වරද අපි පිළිගනිමු. සුසීමය, යමෙක් වරද, වරද වශයෙන් දැක, ධර්මයට අනුව පිළියම් කෙරෙයිද, ආයති සංවරයටත් (මත්තෙහි සංවරවීමටත්) පැමිණෙයිද, මෙය ආර්ය විනයෙහි වැඩීම වන්නේය.”