31. ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වන්නේ කෙසේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ඍද්ධි ප්‍රාතිහාර්ය (අධිමානසික බල) දැක්විය හැක්කේ කෙසේ ද?

A. රූපාවචර පංචම ධ්‍යානය තෙක් සිත දියුණු කොට, එම පංචම ධ්‍යාන සිත ද වඩා දියුණු/තියුණු කළ විට (‘අභිඥා චිත්තය’ මඟින්) ඍද්ධි ප්‍රාතිහාර්ය දැක්විය හැක. [ධ්‍යාන දැක්වීම ‘අභිධර්ම ක්‍රමයෙනි’.]

S. “අභිඥා ඉපදවීම.

“ඍද්ධිවිධ අභිඥාවය, දිව්‍යශ්‍රෝත්‍ර‍ අභිඥාවය, පරචිත්තවිජානන අභිඥාවය, පූර්වේනිවාසානුස්මෘති අභිඥාවය, දිව්‍යචක්ෂුරභිඥාවය” යි අභිඥා පසෙකි.

අභිඥා යනු විශේෂ බලයකින් යුක්ත වන රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තයට ම කියන නමෙකි. නො පෙනී සිටීම, අහසින් යාම, ජල මතුයෙහි ඇවිදීම, පොළොවෙහි ගැලීම යනාදිය හා නොයෙක් දේ මැවීමත් සිදු කිරීමට සමත් රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තය ඍද්ධිවිධ අභිඥා නම් වේ.

මිනිස් කනට නො ඇසෙන ඉතා සියුම් ශබ්ද හා බොහෝ දුර ඇතිවන ශබ්ද ද කනින් අසන්නාක් මෙන් ඇසීමට සමත් වන රූපාවචර පඤ්චම ධ්‍යානය දිව්‍ය ශ්‍රෝත්‍ර‍ අභිඥා නම් වේ.

අනුන්ගේ සිත් දැකිය හැකි වූ රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තය පරචිත්තවිජානන අභිඥා නම් වේ.

තමාගේ අතීත ජාතීන් සිහි කිරීමට සමත් රූපාවචර පඤ්චම ධ්‍යාන චිත්තය පූර්වේනිවාසානුස්මෘති අභිඥා නම් වේ.

මිනිස් ඇසට නො පෙනෙන සියුම් දේවල් හා දුර පිහිටි දේවල් ද, බිත්ති පර්වතාදියෙන් වැසී ඇති දේවල් ද, ඇසින් දක්නාක් මෙන් දැකීමට සමත් වන රූපාවචර පඤ්චම ධ්‍යාන චිත්තය දිව්‍යචක්ෂුරභිඥා නම් වේ.

ධ්‍යාන ලැබූ පමණින් හෝ රහත් වූ පමණින් හෝ අභිඥා නො ලැබේ. අභිඥා බලය ධ්‍යාන ලැබීමෙන් පසු නැවත උත්සාහ කොට ලබාගත යුතු ය. සමීප අතීත භවවලදී ධ්‍යානාභිඥා උපදවා ගෙන සිටියා වූ තැනැත්තන්ට හා බෝධිසම්භාර පුරා ඇති මහාබෝධි සත්ත්වයන්ට ධ්‍යාන ලැබීම සමඟ ම නිරුත්සාහයෙන් ම අභිඥා බලය ද ලැබේ. අභිඥා ලබනු කැමැති සාමාන්‍ය ධ්‍යාන ලාභීන්ට අෂ්ට සමාපත්ති විෂයෙහි “කසිණානු ලෝමතෝ කසිණ පටිලෝමතෝ” යනාදීන් විශුද්ධි මාර්ගාදියෙහි දක්වා ඇති තුදුස් ආකාරයෙන් සිත පුරුදු නො කොට අභිඥා බලය නො ලැබිය හැකි ය.

පඤ්චක ක්‍ර‍මය ය, චතුෂ්ක ක්‍ර‍මය ය කියා රූපාවචර ධ්‍යාන ඉපදවීමේ ක්‍ර‍ම දෙකක් ඇත්තේ ය. මේ පොතේ රූපාවචර ධ්‍යාන දක්වා ඇත්තේ පඤ්චක ක්‍ර‍මයෙනි. චිත්ත පරිච්ඡේදයේ රූපාවචර සිත් පසළොසක් කියා ඇත්තේ ධ්‍යානවල පඤ්චක ක්‍ර‍මය අනුව ය. රූපාවචර ප්‍ර‍ථම ධ්‍යානය ඉපද වූ ඇතැම් යෝගාවචරයෝ විතර්කවිචාර නැමැති ධ්‍යානාඞ්ග දෙක ම එකවර ඉක්මවා ප්‍රීති සුඛ ඒකාග්‍ර‍තා යන අඞ්ගත්‍ර‍ය ඇති ධ්‍යානය දෙවන වරට උපදවති. ඔවුනට එය ද්විතීය ධ්‍යානය ය. පඤ්චක ක්‍ර‍මයේ සැටියට නම් එය තෘතීයධ්‍යානය ය. ඔවුහු පඤ්චක ක්‍ර‍මයේ සතර වන ධ්‍යානය තුන් වන වරට ද, පස් වන ධ්‍යානය සතර වන වරට ද උපදවති. ඔවුනට ඇත්තේ ප්‍ර‍ථම ධ්‍යානය ද්විතීය ධ්‍යානය තෘතීය ධ්‍යානය චතුර්ථ ධ්‍යානය කියා රූපාවචර ධ්‍යාන සතරෙකි. ධ්‍යානයන්ට සමාපත්ති යන නාමය ද ව්‍යවහාර කරනු ලැබේ. එබැවින් රූපාවචර ධ්‍යාන සතරය, අරූපාවචර ධ්‍යාන සතරය යන මේ අටට අෂ්ට සමාපත්තිය යි කියනු ලැබේ.

අෂ්ට සමාපත්ති ලාභියා විසින් පඨවි - ආපෝ - තේජෝ - වායෝ - නීල - පීත - ලෝහිත - ඕදාත යන කසිණ අටෙන් ම රූපාවචර ධ්‍යාන උපදවා ගත යුතු ය. ඉක්බිති පඨවි කසිණයේ පටන් ඕදාත කසිණය දක්වා ඇති කසිණයන්හි පිළිවෙළින් ධ්‍යානවලට සමවැදීම ය, ඕදාත කසිණයේ පටන් ප්‍ර‍තිලෝම වශයෙන් සියලු කසිණයන්හි ධ්‍යානවලට සමවැදීම ය, ඒ ක්‍ර‍ම දෙකින් ම ධ්‍යානවලට සමවැදීම ය යන ආදි විශුද්ධි මාර්ගයෙහි දැක්වෙන ක්‍ර‍ම තුදුසෙන් ම අෂ්ට සමාපත්තිය පුරුදු කළ යුතු ය. එසේ පුරුදු කළ යෝගාවචරයාගේ රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තයට ඍද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය කිරීමේ ශක්තිය ලැබෙන්නේ ය.

අෂ්ට සමාපත්තීන් තුදුස් ආකාරයෙන් පුරුදු කොට රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තයේ බලය දියුණු කරගත්තා වූ යෝගාවචරයා විසින් එහි බලයෙන් යම් කිසි විශේෂ දෙයක් සිදු කරනු කැමති කල්හි, පළමු කොට කරන්නට යන කටයුත්තට සුදුසු කසිණයෙක්හි පඤ්චමධ්‍යානයට සමවැදිය යුතු ය. ඒ පඤ්චම ධ්‍යානයට ‘අභිඥාපාදක පඤ්චම ධ්‍යානය’ යි කියනු ලැබේ. එයින් නැගිට යම් කිසිවක් මැවීමට නම් ‘අසවල් දෙය මැවේවා, මැවේවා” යි කීප විටක් සිතා නැවතත් ඒ පඤ්චම ධ්‍යානයට සමවැදිය යුතු ය. එයින් නැගිට නැවතත් ‘අසවල් දෙය මැවේවා’ යි අධිෂ්ඨාන කළ යුතු ය. ඒ අවස්ථාවෙහි දී අධිෂ්ඨාන කිරීම් වශයෙන් ඇති වන්නේ විශේෂ බලයෙන් යුක්ත වන අභිඥා චිත්ත නම් වූ රූපාවචර පඤ්චම ධ්‍යාන චිත්තය ය. ඒ සිත උපදිනු සමග ම යෝගාවචරයා අදහස් කළ රූපය පහළ වේ.

ඉහත කී පරිදි අෂ්ට සමාපත්තීන්හි තුදුස් ආකාර වශීභාවය ඇති කර ගැනීමෙන් ම සියලු ම අභිඥා ලැබෙන්නේ නො වේ. දිව්‍ය ශ්‍රෝත්‍රාදි අභිඥාවන් සඳහා වෙන වෙන ම කළ යුතු පරිකර්ම ඇත්තේ ය. ඒ ඒ අභිඥාවන් ලැබීමට නිසි පරිකර්ම සම්පූර්ණ කළ යෝගාවචරයන්ට ඒ ඒ අභිඥා ඇත්තේ ය. අභිඥාවලින් සමහරුන්ට එකක් පමණක් ඇත්තේ ය. සමහරුන්ට දෙක තුන ඇත්තේ ය. සමහරුන්ට සියල්ලම ඇත්තේ ය. එබැවින් ඇතැම් ධ්‍යාන ලාභීහු මිනිස් ඇසට නො පෙනෙන දෙවි බඹුන්ගේ ශරීර දකිති. එහෙත් ඔවුන්ගේ හඬ ඇසීමට සමත් නො වෙති. ඇතැම්හු දුර ශබ්ද ඇසීමට සමත් වෙති. එහෙත් දුර රූප දැකීමට සමත් නො වෙති. සමහරු ඒ දෙක ම කිරීමට සමත් වෙති. එහෙත් යම් කිසිවක් මැවීමට අපොහොසත් වෙති. ධ්‍යාන ලාභියකු විසින් යම් කිසිවක් වේවා ය කියා නිකම් සිතූ තරමින් කී තරමින් යමක් සිදු නො වන බව ද දත යුතු ය.

ඍද්ධි දශය.

අධිට්ඨානිද්ධි, විකුබ්බනිද්ධි, මනෝමයිද්ධි, ඤාණ විප්ඵාරිද්ධි, සමාධිවිප්ඵාරිද්ධි, අරියිද්ධි, කම්මවිපාකජිද්ධි, පුඤ්ඤිද්ධි, විජ්ජාමයිද්ධි, සම්මප්පයෝගපච්චයිද්ධි කියා ඍද්ධි දශයක් ඇත්තේ ය.

එක් කෙනෙක් සිය දෙනෙක් දහස් දෙනෙක් වීම, පෙනී සිටීම, නො පෙනී සිටීම, බිත්ති පර්වතාදියෙන් ඔබ්බට නොසැපී යාම, ජලයෙහි මෙන් පොළොවෙහි ගැලීම යනාදිය අධිට්ඨානිද්ධි නම් වේ.

තමාගේ ප්‍ර‍කෘතිය හැර දෙවියකු මෙන් හෝ යකකු රකුසකු මෙන් හෝ සිංහ ව්‍යාඝ්‍රාදි සතෙකු මෙන් හෝ පෙනී සිටීම විකුබ්බනිද්ධි නම් වේ.

තමාගේ ශරීරය තුළ තවත් අඞ්ග සම්පූර්ණ ශරීරයක් සිතින් මවා පිටතට ගැනීම මනෝමයිද්ධි නමි. අභිඥා බලයෙන් සිදු වන්නේ කියන ලද ඍද්ධි තුන පමණෙකි. ඇතැම් උසස් ඥානයක් ඇතිවන කල්හි ද ඇතිවීමට කලින් ද ඇතිවීමෙන් පසු ද ඒ ඥානයේ ආනුභාවයෙන් යම් යම් දේ සිදුවීම ඤාණවිප්ඵාරිද්ධිය ය. යමකුට ඒ ජාතියේ දී නියමයෙන් ම අර්හත් මාර්ග ඥානය ඇති වන්නේ නම්, ඒ තැනැත්තා එය නො ලැබ කවර හේතුවකින්වත් නො මියන්නේ ය. බාල කාලයේ දී බක්කුල තෙරුන් වහන්සේ මසකු විසින් ගිලිනු ලැබූහ. එහෙත් දිවි රැකුනේ ය. එය ඥානවිප්ඵාරිද්ධිය ය. බාල කාලයේ සංකිච්ච තෙරුන් වහන්සේගේ ජීවිතය ආරක්ෂා වීම ද, භූතපාල තෙරුන් වහන්සේගේ ජීවිතය ආරක්ෂා වීම ද ඥානවිප්ඵාරිද්ධිය ය.

සමාධියෙන් ඉන්නා කාලයේ දී හෝ ඉන් පෙර හෝ පසුව හෝ සමාධියේ ආනුභාවයෙන් යම් යම් දේ සිදුවීම සමාධි විප්ඵාර ඍද්ධිය ය. සැරියුත් මහ තෙරුන් වහ්නසේට කපෝතකන්දරාවෙහි වැඩ වෙසෙන කල්හි එක් යකෙක් ඇතකු වුව ද ඇද වැටෙන තරමේ තද පහරක් ගැසී ය. ඒ අවස්ථාවෙහි සමාපත්තියෙන් උන් බැවින් උන් වහන්සේට අමාරුවක් නො වී ය. එය සමාධිවිප්ඵාරිද්ධිය ය. කකුසඳ බුදුන් වහන්සේ ගේ ශ්‍රාවකයකු වූ සඤ්ජීව තෙරුන් වහන්සේ ගසක් මුල නිරෝධ සමාපත්තියෙන් වැඩ වෙසෙනු දුටු මනුෂ්‍යයෝ “මේ ශ්‍ර‍මණයා හිඳ ගෙන ම මැරී ඉන්නේය” යි කියා උන් වහන්සේ යට කොට දර දමා ගිනි ලැවූහ. දර ඉවර වන තෙක් ගින්න ඇවුලුණේ ය. එයින් උන් වහන්සේගේ සිවුරුවලටවත් හානියක් නො වී ය. එය ද සමාධි විප්ඵාරිද්ධිය ය.

සිත වසඟ කර ගෙන ඇති බැවින් රහතන් වහන්සේලාට අන්‍යයන් පිළිකුල් කරන දේවල් ගැන පිළිකුල් නැතිව ද විසිය හැකි ය. අන්‍යයන් උසස් කොට සලකන දේවල් ගැන පිළිකුල ද ඇති කර ගත හැකි ය. පිළිකුල් වූ ද පිළිකුල් නො වූ ද සියල්ල ගැන මධ්‍යස්ථව ද විසිය හැකි ය. රහතුන්ගේ ඒ ඍද්ධිය ආර්‍ය්‍යඍද්ධි නම් වේ.

පක්ෂීන්ටත් දෙවියන්ටත් ඇතැම් මිනිසුන්ටත් භූතයින්ටත් ඇති ඍද්ධිය කර්මවිපාකජ ඍද්ධිය ය. ඍද්ධි ඇතිව විසූවෝ ආදි කල්පික මනුෂ්‍යයෝ ය.

චක්‍ර‍වර්ති රජවරුන්ගේ ඍද්ධිය හා ජෝතිය ජටිලාදි ඇතැම් පින්වතුන්ට ද පිහිටි ඍද්ධිය පුණ්‍ය ඍද්ධිය ය.

ලෝකයෙහි ඇත්තා වූ අනේකප්‍ර‍කාර විද්‍යාවලින් නොයෙක් දේවල් සිදු කළ හැකි බව විද්‍යාමයිද්ධි නම් වේ.

ප්‍ර‍තිපත්ති සඞ්ඛ්‍යාත සම්‍යක් ප්‍රයෝගයෙන් ක්ලේශ ප්‍ර‍හාණය කිරීම හා උපායෙන් තවත් නොයෙක් දේ සිදු කිරීම සම්මාපයෝගපච්චයිද්ධි නම් වේ.” 

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll