368. භවාංග සිතෙත් සබ්බචිත්ත සාධාරණ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, ඒකග්ගතා, ජීවිතෙන්ඳ්‍රිය, මනසිකාරය යන මේ සර්ව චිත්ත සාධාරණ චෛතසික හත භවාංග සිතට යෙදන බව හෝ නොයෙදෙන බව දක්වා ඇති තැනක් තිබේද? එසේ යෙදීම හෝ නොයෙදීම පිළිබඳ අදහස් මොනවාද?

AR. (අවසරයි අපෙ හමුදුරුවනෙ!) සෑම සිතක් ම ඇති වීමට ඒ චෛතසික සත අවශ්‍ය ම ය.

"එක් සිතක් සමඟ එක වරකට උපදනා වැඩිම චෛතසික ගණන සතිසකි. හත, දහය, එකොළොස, දොළොස යනාදි ගණන් ඇති චෛතසික සමූහයෝ ඒ ඒ සිත් හා උපදිති."

භවාංග සිතෙහි.

1. අකුසල හා කුසල විපාක සන්තීරණ භවාංග සිත් දෙකෙහි = ඡන්ද, පීති, විරිය හැර අන්‍යසමාන චෛතසික දහය යෙදේ.

2. මහා විපාක භවාංග සිත් අටෙහි = උපේක්ෂා සහගත සිත්වල පීතිය ද, ඥාන විප්‍ර‍යුක්ත සිත්වල ප්‍ර‍ඥාව ද හැර; අන්‍යසමාන දහතුන හා - අප්‍ර‍මාණ්‍යය හා විරති ද හැර ඉතිරි ශෝභන චෛතසික යෙදේ.

3. මහද්ගත විපාක රූපාවචර භවාංග සිත්හි = ප්‍ර‍ථම ධ්‍යාන සිත් තුනෙහි අන්‍යසමාන දහතුනය, විරති හැර ශෝභන චෛතසික විසිදෙක යන චෛතසික තිස්පහ යෙදේ. ද්විතීය ධ්‍යාන සිත් තුනෙහි ඒ චෛතසිකවලින් විතර්කය හැර, ඉතිරි තිස්හතර යෙදේ. තෘතීය ධ්‍යාන සිත් තුනෙහි විතර්ක - විචාර දෙක ම හැර චෛතසික තිස් තුනක් යෙදේ. චතුර්ථ ධ්‍යාන සිත් තුනෙහි විතර්ක - විචාර - ප්‍රීති තුන ම හැර, දෙතිසක් චෛතසික යෙදේ. පඤ්චම ධ්‍යාන සිත් තුනෙහි හා අරූපාවචර විපාක භවාංග සිත්හි = විතර්ක - විචාර - ප්‍රීති - අප්‍ර‍මාණ්‍ය හැර තිසක් චෛතසික යෙදේ.

Q. ප්‍රභාස්වර සිත ලෙසින් හදුන් වන්නේ භවාංග සිතද?

A. “පදුට්ඨෙන යනු ආගන්තුකව පැමිණි අහිධ්‍යාදී දොස්වලින් අතිශයින් දූෂ්‍යවු සිතයි. ප්‍රකෘති මනස නම් භවාංග විත්තයයි. එය අප්‍රදුෂ්‍යයි. පිරිසිදුයි. යම්සේ පැහැදිලි ජලය ආගන්තුකව පැමිණෙන නීලවර්ණාදියෙන් කිලිටිවු කල නිල්දිය ආදි භේදවලට පැමිණේද, ඉන්පසු එය අලුත් ජලයක් නොවුණත් පෙර පැවති ජලයද නොවේ. ඒ ආකාරයෙන් සිතද ආගන්තුකවු අහිධ්‍යාදී දොස්වලින් ප්‍රදූෂ්‍ය වන්නේවෙයි. ඉන්පසු එය අලුත් සිතක්ම හෝ පෙර තිබුණු සිත හෝ නොවෙයි. මේද භවාංග සිතමය. එහෙයින් බුදුහු මෙසේ වදාළහ. ‘පභස්සරමිදං භික්ඛවෙ චිත්තං තං ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙට්ඨෙහි උපක්කිලෙසං’ මහණෙනි මේ සිත ඉතා ප්‍රභාස්වරයි නමුත් එය ආගන්තුක උපක්කිලෙස නිසා කිලිටිවුයේ වෙයි. ‘මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරොතිවා’ යනු පුද්ගලයා කථා කරන විට චතුර්විධ වාග් දුශ්චරිතයම කරයි. එසේ සිටින විට ඒ අහිධ්‍යාදී ප්‍රදූෂ්‍යවූ මනසක් ඇති නිසා ත්‍රිවිධ මනෝදුශ්චරිත පුරයි. මෙසේ ඔහුට දසඅකුසල කර්මපථ සම්පුර්ණ වේ.
පදුට‍්ඨෙනාති ආගන‍්තුකෙහි අභිජ‍්ඣාදීහි දොසෙහි පදුට‍්ඨෙන. පකතිමනො හි භවඞ‍්ගචිත‍්තං, තං අපදුට‍්ඨං. යථා හි පසන‍්නං උදකං ආගන‍්තුකෙහි නීලාදීහි උපක‍්කිලිට‍්ඨං නීලොදකාදිභෙදං හොති, න ච නවං උදකං, නාපි පුරිමං පසන‍්නඋදකමෙව, තථා තම‍්පි ආගන‍්තුකෙහි අභිජ‍්ඣාදීහි දොසෙහි පදුට‍්ඨං හොති, න ච නවං චිත‍්තං, නාපි පුරිමං භවඞ‍්ගචිත‍්තමෙව, තෙනාහ භගවා – “පභස‍්සරමිදං, භික‍්ඛවෙ, චිත‍්තං, තඤ‍්ච ඛො ආගන‍්තුකෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨ”න‍්ති (අ· නි· 1.49). එවං මනසා චෙ පදුට‍්ඨෙන, භාසති වා කරොති වා සො භාසමානො චතුබ‍්බිධං වචීදුච‍්චරිතමෙව භාසති, කරොන‍්තො තිවිධං කායදුච‍්චරිතමෙව කරොති, අභාසන‍්තො අකරොන‍්තො තාය අභිජ‍්ඣාදීහි පදුට‍්ඨමානසතාය තිවිධං මනොදුච‍්චරිතං පූරෙති. එවමස‍්ස දස අකුසලකම‍්මපථා පාරිපූරිං ගච‍්ඡන‍්ති."

“පභස‍්සරමිදං භික‍්ඛවෙ චිත‍්තං. තඤ‍්ච ඛො ආගන‍්තුකෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨන‍්ති.
මහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්‍රභාස්වර ය, හෙ ද වනාහි ආගන්තුක (ජවන්කෙණෙහි උපදනා රාගාදි) උපක්ලේශයන්ගෙන් කිලිටි වුයේ ය.”

“එවමෙව යනු උපමාව ඉදිරිපත් කිරීමයි. චිත්තෙ සංකිලිට්ඨෙ චිත්තයාගේ කිලිටි බවක් ඇති කල්හි කවර හෙයකින් භාග්‍යවතුන් වහන්සේ කිලිටි වස්ත්‍රයකින් උපමාව කළේද යත්, උත්සාහයාගේ ප්‍රතිඵලය දැක්වීම පිණිසයි. යම්සේ අමුතුවෙන් පැමිණි කිලිටිවලින් කිලිටි වූ වස්ත්‍රය පියොවින්ම පඬුවන් පැහැ ඇති බැවින්, නැවත සෝදන්නේද, පඬුවන් පැහැයම වේ. එහි උපතින්ම කළු වූ එළු ලොමෙහි මෙන් ව්‍යායාමය නිෂ්ඵල වූයේ නොවේද, එසේ සිතද, ආගන්තුක වූ කෙලෙසුන්ගෙන් කිලිටි වූයේ, ස්වභාවයෙන්ම එය සියලුම පටිසන්ධි භවාංග වාරයෙහි, පඬුවන් වූයේම වෙයි. වදාළේමය. පභස්සරමිදං භික්ඛවෙ, චිත්තං තඤ්චඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං (මහණෙනි, මේ භවාංග චිත්තය පිරිසිදුය. එය ආගන්තුක වූ උපක්ලේශයන්ගෙන් කිලිටි වෙයි.) එය පිරිසිදු කරනු ලබන්නේ පිරිසිදු කළ හැකිය. ඒ සඳහා වූ උත්සාහය නිෂ්ඵල නොවේ. මෙසේ උත්සාහයාගේ සඵල බව දැක්වීම පිණිස කිලිටි වස්ත්‍රයෙන් උපමාව කළේයයි දතයුතුයැ.
එවමෙව ඛොති උපමාසම‍්පටිපාදනං. චිත‍්තෙ සංකිලිට‍්ඨෙති චිත‍්තම‍්හි සංකිලිට‍්ඨම‍්හි. කස‍්මා පන භගවා සංකිලිට‍්ඨවත්‍ථෙන ඔපම‍්මං අකාසීති චෙ, වායාමමහප‍්ඵලදස‍්සනත්‍ථං. යථා හි ආගන‍්තුකෙහි මලෙහි සංකිලිට‍්ඨං වත්‍ථං පකතියා පණ‍්ඩරත‍්තා පුන ධොවීයමානං පණ‍්ඩරං හොති, න තත්‍ථ ජාතිකාළකෙ විය එළකලොමෙ වායාමො නිප‍්ඵලො හොති, එවං චිත‍්තම‍්පි ආගන‍්තුකෙහි කිලෙසෙහි සංකිලිට‍්ඨං. පකතියා පන තං සකලෙපි පටිසන්‍ධිභවඞ‍්ගවාරෙ පණ‍්ඩරමෙව. යථාහ – “පභස‍්සරමිදං, භික‍්ඛවෙ, චිත‍්තං, තඤ‍්ච ඛො ආගන‍්තුකෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨ”න‍්ති (අ· නි· 1.51). තං විසොධීයමානං සක‍්කා පභස‍්සරතරං කාතුං, න තත්‍ථ වායාමො නිප‍්ඵලොති එවං වායාමමහප‍්ඵලදස‍්සනත්‍ථං සංකිලිට‍්ඨවත්‍ථෙන ඔපම‍්මං අකාසීති වෙදිතබ‍්බො."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll