275. ඉහළට ද? වටේට ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. තල 31 වූ භූමින් පෘතුවිය වටා (රවුමට ඉහලට ඉහලට) පිහිටා තිබේද? නැතහොත් එක් ස්ථානයක සිට ඉහළටත් පහළටත් පිහිටා තිබේද?
A / R. සාරාංශය -: “… නරක, පොළොව ඇතුළෙහි එකිනෙකට යටින් පිහිටා ඇත්තේ ය.
… තිරිසන් ජාතිය ම තිරශ්චීන භූමිය හැටියට සලකනු ලැබේ.

ප්‍රේත ජාතිය ම හෝ ඔවුන් වාසය කරන තැන හෝ ප්‍රේත භූමිය වශයෙන් සලකනු ලැබේ.

මිනිස් ලොව පටන් කාම සුගති භූමි එකිනෙකට උඩින් පිළිවෙළින් පිහිටා තිබේ.”

කෙටි විස්තරය -:“අපාය භූමිය, කාම සුගති භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය කියා භූමි සතරෙකි. ‘භූමි’ යනු සත්ත්වයන් උපදින - ජීවත්වන ස්ථානයෝ ය.

නරක ය - තිරිසන් යෝනිය-ප්‍රේත විෂය-අසුරනිකාය ය කියා අපාය භූමි සතරෙකි.

… නරක, පොළොව ඇතුළෙහි එකිනෙකට යටින් පිහිටා ඇත්තේ ය. ඒවා සතරැස් ය. …
… තිරිසන් ජාතිය ම තිරශ්චීන භූමිය හැටියට සලකනු ලැබේ.

ඕපපාතිකි වශයෙන් උපදනා වූ ඒ ප්‍රේතයෝ කර්මානුරූප ව නොයෙක් ප්‍ර‍මාණ නොයෙක් සටහන් නොයෙක් වර්ණ ඇති ව උපදිති. එබැවින් ප්‍රේත නිකාය ද ඉතා විචිත්‍ර‍ ය. ඔවුන්ට ද වෙන් වූ භූමියක් නැත. ප්‍රේත ජාතිය ම හෝ ඔවුන් වාසය කරන තැන හෝ ප්‍රේත භූමිය වශයෙන් සලකනු ලැබේ. ….

කාම සුගති භූමි - මනුෂ්‍ය භූමිය, චාතුර්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුෂිතය, නිර්මාණරතිය, පරනිර්මිතවශවර්තය කියා කාම සුගති භූමි සතෙකි. අපාය භූමි සතර ය, මිනිස් ලොව, දිව්‍යලෝක සය ය යන මේ භූමි එකොළොස කාමාවචර භූමිහූ ය.

කාමාවචර භූමි එකොළොසය, රූපාවචර භූමි සොළොසය, අරූපාවචර භූමි සතරය යි භූමි එක් තිසෙකි.

මිනිස් ලොව පටන් කාම සුගති භූමි එකිනෙකට උඩින් පිළිවෙළින් පිහිටා තිබේ. පරනිර්මිත වශවර්තියට උඩින් ප්‍ර‍ථම ධ්‍යාන භූමි තුන එක් තලයක පිහිටා තිබේ. ඒවාට උඩින් ද්විතීය ධ්‍යාන භූමි තුන එක් තලයක ද, ඒවාට උඩින් තෘතීය ධ්‍යාන භූමි තුන එක් තලයක ද, ඒවාට උඩින් වේහප්ඵල, අසංඥ සත්ත්ව යන චතුර්ථ ධ්‍යාන භූමි දෙක එක් තලයක ද පිහිටා ඇත්තේ ය. එවායින් මතුයෙහි ශුද්ධාවාස භූමි පස එකිනෙකට උඩින් පිහිටා තිබේ. ඒවාට උඩින් අරූප භූමි සතර පිළිවෙළින් පිහිටා තිබේ. …”

වැඩි විස්තර -: භූමි චතුෂ්කය / රූපාවචර - අරූපාවචර භූමි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll