386. පපුව පිච්චෙනවා ද? පපුව "හෝස්" ගාලා ගියා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ශෝකයක් ඇතිවූ විට, ඇසේ කනේ නාසයේ දිවේ අතේ පයේ බෙල්ලේ නැතිව පපුව මැද ශාරීරික සංවේදනයක් ඇති වෙන්නේ ඇයි? හෘදය රූපය යනු කුමක්ද?

A / R. “ඇස ය, කන ය, නාසය ය, දිව ය, කය ය, හෘදය රූපය ය කියා සිත් උපදනා ස්ථාන සයක් ඇත්තේ ය.භවාඞ්ග චිත්තය යි කියන සත්ත්වයාගේ ප්‍ර‍කෘති චිත්තය හා තවත් බොහෝ සිත් ද ඇතිවන්නේ හෘදය කෝෂයෙහි ය. හෘදය කෝෂයෙහි පවත්නා වූ භවාඞ්ග චිත්ත පරම්පරාවට මනෝද්වාරය යි කියනු ලැබේ. නා නා කරුණු සම්බන්ධයෙන් නොයෙක් සිත් නැඟි නැඟී එන්නේ හෘදය කෝෂයෙහි පවත්නා භවාඞ්ග චිත්තයෙනි.
වස්තූන්ගෙන් විශේෂ දෙය හෘදය වස්තුව ය. එය වනාහි හෘදය කෝෂයෙහි පිහිටි අඩ පතක් පමණ ලේ ආශ්‍ර‍ය කර ගෙන පවත්නා වූ එක්තරා සූක්ෂ්ම ධාතුවකි. එය ඇසට නො පෙනෙන - අතට අසු නොවන ඉතා සියුම් දෙයකි. මළවුන් ගේ හෘදය කෝෂයෙහි එය නැත. එය වෛද්‍ය ශාස්ත්‍ර‍යට හසුවන දෙයක් ද නොවේ. එයට වස්තු රූපය යන නාමය ද ව්‍යවහාර වේ. හෘදය කෝෂයේ ලෙස ඉන් පිටතට ගලා යන මුත් සිත් ඇති වීමට ආධාර වන ඒ වස්තු රූපය හෘදය කෝෂයෙන් පිට වී යන ලෙය හා එක් වී පිට වී නො යේ. සිත්වලින් බොහෝවක් ම උපදින්නේ හෘදය වස්තුවෙහි ය.”

මාගේ මතකයේ හැටියට “ද්වේෂ මූල සිත් දෙකහටගන්නේ ම වස්තු රූපය/හෘදය වස්තුව/හෘදය වස්තු රූපය ඇසුරු කරමින් ම ය. එබැවින් තරහා/ශෝකය/බය ... ආදී සංවේදන හෘදය ආශ්‍රිතව (වම් පස හා මැද) සංවේදනය වීම අරුමයක් නොවේ.

A / R. “[ද්වේෂ මූල දෙසිත ය .... හෘදය වස්තුව ඇසුරු කොට ම උපදී.]
{පඤ්චද්වාරාවජ්ජනය ය, සම්පටිච්ඡන දෙක ය, සන්තීරණ තුන ය, මහාවිපාක අට ය, ද්වේෂ මූල දෙසිත ය, සෝවාන් මාර්ග චිත්තය, හසිතුප්පාදය ය, රූපාවචර සිත් පසළොස ය යන සිත් තිස් තුන හෘදය වස්තුව ඇසුරු කොට ම උපදී.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll