330. සිත ඇත්තේ කොතැන ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මිනිස් ශරීරයේ හිත තිබෙන්නේ කොතනද? 

[මේ ලිපිය ද කියවන්න!]

A / R. (ධර්මානුකූල අදහස නම්:) ‘සිත’ පවතින්නේ ‘හදවත’ තුළ ය බවය.

එමෙන් ම, (මාගේ පෞද්ගලික අදහස නම්:) ‘සිත’ නිතර ම පාහේ ‘මොළය’ හා සමමුහුර්ත (එකවිට) අන්තර් සබඳතා(වයක්) [synchronizing/synchronized interaction(s)] පවත්වන බවයි.

[කය පුරා පැතිර ඇත්තේ, කයට යමක් ස්පර්ශ වූ විට සිත් ඇතිවීමට උපකාරීවන ‘කාය ප්‍රසාද රූපය’ වේ.]

Q. හර්දයක් බද්ද කලොත්? [වැඩිදුර පිළිතුරු සඳහා මෙම ලිපිය කියවන්න!]

A. ‘සිත’ භෞතික දෙයක් නොවන බැවින්, භෞතික ‘හදවත'ට ඕනෑ ම දෙයක් සිදු කිරීමෙන්, ‘සිත' නමැති 'බලවේගය’ට කිසිදු හානියක් සිදු නොවේ.

A. අභිධර්මයේ සඳහන් වන්නේ හදවත තුළ ඇති “අඩපතක්” පමණ ලේ ධාතුව ඇසුරු කරගෙන ‘සිත’ පවතින බවයි - මේ පිළිබඳව ද සිත ඇත්තේ හදවතේ/මොළයේ/කයපුරා ආදී ලෙස හා “(හෘදය) වස්තු රූපය” පිළිබඳව ද නොයෙක් මත ඇත. [ධර්මානුකූල / මාගේ පෞද්ගලික අදහස කලින් ප්‍රකාශකොට ඇති බව සලකන්න.]

[මේ/මේවා පිළිබඳව නැවත මා අදහස් පළනොකරන බව ද කරුණාවෙන් සලකන්න. කරුණ කර පහත උපුටන සළකා බලන්න!]

R. "11 හදය

හදය නම් හෘදය මාංසය යි. එය වර්‍ණ වශයෙන් රත් පියුම් පෙත්තෙක පිට පැත්ත බඳු වර්‍ණ ය. සණ්ඨාන වශයෙන් පිට පෙති හැරැ යටි මුව කොටැ තුබූ පියුම් කැකුළක් බඳු ය. පිටත සිලුටු ය. ඇතුළත වැටකොළු ගෙඩියක ඇතුළ බඳු ය. ප්‍රාඥයන්ට මඳක් විකසිත වැ ද, මන්‍දප්‍රාඥයන්ට මුකුලිත වැ ද ඇත්තේ ය. ඒ ඇතුළෙහි අඩපතක් පමණ ලෙහෙයෙන් යුත් දොඹ ගෙඩියක් පමණ වූ වළෙකි. මනොධාතුව හා මනොවිඤ්ඤාණධාතුව පවත්නේ ඒ ලෙහෙය ඇසුරු කොටැ ය. ඒ ලෙහෙ ය රාගචරිතයාහට රක්ත වර්‍ණ ය. ද්වේෂ චරිතයාහට කාල වර්‍ණ ය. මෝහචරිතයාහට මස් සේදූ දියත්තක් බඳු වර්‍ණ ය. විතර්‍ක චරිතයාහට කොල්ලු යුස වර්‍ණ ය. ශ්‍ර‍ද්ධා චරිතයාහට කිණිහිරිමල් වර්‍ණ ය. ප්‍ර‍ඥාචරිතයාහට වනාහි ප්‍ර‍සන්න ය, විප්‍ර‍සන්න ය, අනාවිල ය, පණ්ඩරය, පරිශුද්ධ ය, ඔප ලු දැරඟ මිණක් මෙන් ප්‍ර‍භාස්වර යි. දිශා වශයෙන් උඩ දිශායෙහි පිහිටියේ ය. අවකාශ වශයෙන් ශරීරාභ්‍යන්තරයෙහි දෙ තන මැද පිහිටියේ ය. පරිච්ඡේද වශයෙන් හෘදය භාගයෙන් පරිච්ඡින්න ය. මේ හෘදය පිළිබඳ සභාග පරිච්ඡේදය යි. විසභාග පරිච්ඡේදය වනාහි කේශයන්ට කී නියා මැ යි."

R. "වස්තූන්ගෙන් විශේෂ දෙය හෘදය වස්තුව ය. එය වනාහි හෘදය කෝෂයෙහි පිහිටි අඩ පතක් පමණ ලේ ආශ්‍ර‍ය කර ගෙන  පවත්නා වූ එක්තරා සූක්ෂ්ම ධාතුවකි. එය ඇසට නො පෙනෙන - අතට අසු නොවන ඉතා සියුම් දෙයකි. මළවුන් ගේ හෘදය කෝෂයෙහි එය නැත. එය වෛද්‍ය ශාස්ත්‍ර‍යට හසුවන දෙයක් ද නොවේ. එයට වස්තු රූපය යන නාමය ද ව්‍යවහාර වේ. හෘදය කෝෂයේ ලෙස ඉන් පිටතට ගලා යන මුත් සිත් ඇති වීමට ආධාර වන ඒ වස්තු රූපය හෘදය කෝෂයෙන් පිට වී යන ලෙය හා එක් වී පිට වී නො යේ. සිත්වලින් බොහෝවක් ම උපදින්නේ හෘදය වස්තුවෙහි ය."

R. "හෘදය රූපය.
චක්ෂුර් විඥාන ධාතුවය, ශ්‍රෝත්‍ර‍ විඥාන ධාතුවය, ඝ්‍රාණ විඥාන ධාතුවය, ජිහ්වා විඥාන ධාතුවය, කාය විඥාන ධාතුවය, මනෝ ධාතුවය, මනෝ විඥාන ධාතුවය යි විඥාන ධාතු සතෙකි. එයින් චක්ෂුර් විඥානධාත්වාදි පස ප්‍ර‍සාද රූප පසෙහි උපදී. ප්‍ර‍සාද රූප පස ඒ විඥාන ධාතු පසට නිඃශ්‍ර‍ය වස්තු වේ. මනෝ ධාතුව හා මනෝවිඥාන ධාතුව ඒ ප්‍ර‍සාදයන්හි නූපදී. ඒ ධාතු දෙකට නිඃශ්‍ර‍ය වන රූපය හෘදය රූපය ය. එයට වස්තු රූපය යි ද, හෘදය වස්තු රූපය යි ද කියනු ලැබේ. ප්‍ර‍සාද නාමයෙන් නො කියන නමුදු එය ද එක්තරා ප්‍ර‍සාදයෙකි. පඤ්චවෝකාර භවයෙහි සත්ත්වයකු උපදනා කල්හි ප්‍ර‍තිසන්ධි චිත්තය සමඟ ම එය හා බැඳී එයට නිඃශ්‍ර‍ය වෙමින් හෘදය රූපය ද පහළ වේ. එය පහළ වන්නේ මහාභූත සතර හා වර්ණ ගන්ධ රස ඕජා රූප සතර ද ජීවිත රූපය ද සමඟ ය. ඒ රූප පිණ්ඩයට වස්තු දසක කලාපය යි කියනු ලැබේ. එය කලලාදි අවස්ථාවල සුදුසු පරිදි පැවතී, ශරීරය වැඩුණු පසු හෘදය කෝෂය තුළ පිහිටි ලෙය ඇසුරු කොට පවත්නට වන්නේ ය. හෘදය කෝෂයෙහි ස්ථිර ව පිහිටි ලෙයක් නැත. නිතර එයින් පරණ ලෙය බැහැර වන්නේ ය. අලුත් ලේ එයට පැමිණෙන්නේ ය. හෘදය රූපය එතැනට පැමිණෙන ලෙය ඇසුරු කොට ම පවතිනවා මිස ඉන් බැහැරට නො යන්නේ ය. මනෝධාතු මනෝවිඥාන ධාතු දෙකට නිඃශ්‍ර‍ය වන බව එහි ලක්ෂණය ය.

මොළය ශරීරයේ සිත් උපදනා තැන සැටියට බොහෝ දෙනා පිළිගනිති. අභිධර්මයේ සැටියට නම් කේශාදි ස්පර්ශය නො දැනෙන තැන් හැර මුළු සිරුරේ ම සිත් උපදනා බව කිය යුතුය. බෙහෙවින් සිත් උපදනා තැන සැටියට ද, ක්‍රියා සාධක සිත් උපදනා තැන සැටියට ද, ප්‍ර‍ධාන සිත් උපදනා තැන සැටියට ද, මූල චිත්තය උපදනා තැන සැටියට ද අභිධර්මයේ දැක්වෙන්නේ හෘදය රූපය ය. ක්‍රෝධය හා බිය ඇති වූ කල්හි හෘදය තදින් සැලෙන්නට වන බව ද, ශෝකය ඇති වූ කල්හි එය දැවෙන බව ද සෑම දෙනාට ම ප්‍ර‍කට ය. එසේ වන්නේ ක්‍රෝධ භය ශෝකයෙන් හෘදයේ ඇති වන නිසා විය යුතු ය. ක්‍රෝධය හා භය ඇති වූ විට ශරීරයේ පැහැය කළු හෝ රතු වේ. ප්‍රීති ශ්‍ර‍ද්ධා ප්‍රේමාදිය ඇති වූ කල්හි ශරීරය පැහැපත් වේ. ශෝකය ඇති වූ කල්හි වියළේ. එසේ වීමට හේතුව සිත හා ලෙයෙහි ඇති සම්බන්ධය විය යුතු ය. එයින් සිත ලෙය ඇසුරු කොට පවත්නක් බව හැඟේ. සිත් උපදනා තැන මොළය යයි කියන්නවුන්ට ද නොයෙක් හේතු යුක්ති තිබේ. මනෝධාතු මනෝවිඥාන ධාතූන් ගේ නිඃශ්‍ර‍ය හෘදය රූපය යි ගැනීමෙන් එය කොහි තිබුණත් වැරදීමෙක් නොවේ."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll