397. හම්බ කරන්ඩ එපා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මුදල් රැස් කිරීම, වයාපාර කිරීම, ඉඩ කඩම් මිලදී ගැනීම, යාන වාහන ගැනීම, ඒවා තව තවත් දියුනු කිරීම, ඒ වෙනුවෙන් කැප වීම, ඒ සදහා ඇති තන්හාවද, මේ ධර්මානුකූල මතය කුමක්ද?

A / R. “මහණෙනි, අංග තුනකින් යුක්තවූ වෙළඳතෙම නොබෝ කලකින්ම ධනයෙහි මහත් බවටද, විපුල බවටද පැමිණේ. කවර තුනකින්ද? මහණෙනි, වෙළඳ තෙම නුවණ ඇත්තේ වේද, නුවණින් යුක්තවිය ඇත්තේ වේද, උදව් උපකාර ඇත්තේ වේද, (යන මේ තුනෙනි.)
“මහණෙනි, කෙසේනම් වෙළඳ තෙම නුවණ ඇත්තේ වේද, මහණෙනි, වෙළඳ තෙම වෙළඳ බඩු දන්නේ වෙයි. මේ මිලට ගත් බඩුව, මේ මිලට විකුණු කල මෙතරම් ඇත්තේයයි දන්නේය. මහණෙනි, මෙසේ වනාහි වෙළඳ තෙම නුවණ ඇත්තේ වේ.

“මහණෙනි, කෙසේ නම් වෙළඳ තෙම නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වේද, මහණෙනි, වෙළඳ තෙම බඩු ගැනීමටද, විකිණීමටද දක්‍ෂ වෙයි. මෙසේ වනාහි වෙළඳ තෙම නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වෙයි.

“මහණෙනි, කෙසේ නම් උදව් උපකාර ඇත්තේ වේද, මහණෙනි, ධනයෙන් ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, මහත් වස්තුව ඇත්තාවූ, යම් ගෘහපතියෝ හෝ ගෘහපති පුත්‍රයෝ වෙත්ද, ඔවුහු යම් වෙළඳකු ගැන මේ පින්වත් වෙළඳ තෙමේ නුවණ ඇත්තේය. නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේය, අඹු දරුවන් පෝෂ්‍ය කරන්ටද, අපටද කලින් කල ලාභය දෙන්නටද සමර්ත්‍ථයයි දැනගන්නාහුය. ඔවුහු ඒ වෙළෙන්දාට, ’යහළුව මෙයින් අඹු දරුවන්ද පෝෂ්‍ය කරව, අපටද කලින් කල ලාභය දෙව’ යි ධනය දෙන්නාහුය. මහණෙනි, මෙසේ වනාහි වෙළඳ තෙම උදව් උපකාර ඇත්තෙක් වේ. මහණෙනි, මේ කරුණු තුනකින් යුක්තවූ වෙළඳ තෙම නොබෝ කලකින්ම ධනයෙහි මහත් විපුල බවටද පැමිණේ.”

“මහණෙනි, කරුණු තුනකින් යුක්තවූ වෙළඳ තෙම නොලැබූ ධන ලැබීමට හෝ, ලැබූ ධනය දියුණු කිරීමට හෝ සුදුසු නොවේ. කවර තුනකින්ද? මහණෙනි, මේ ලෝකයෙහි වෙළඳ තෙම උදය කාලයෙහි මනාව කටයුතු නොකරයිද, දවල් කාලයෙහි මනාව කටයුතු නොකරයිද, සවස් කාලයෙහි මනාව කටයුතු නොකරයිද, මහණෙනි, මේ අංග තුනෙන් යුත් වෙළඳ තෙම නොලැබූ ධන ලැබීමට හෝ, ලැබූ ධනය දියුණු කිරීමට හෝ සුදුසු නොවේ.

“ගාමණිය, ඔවුන් අතුරෙන් යම් මේ කාමභෝගියෙක් තෙම ධර්මයන් නොසැහැසිව වස්තුව සපයයිද, ධර්මයෙන් නොසැහැසිව වස්තුව සපයා සැප විඳියිද, පිණවයිද, බෙදා දෙයිද, පින් කරයිද, ඒ වස්තුව නොඇලී නොගිලී මුසපත් නොවී ආදීනව දක්නේ නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තව පරිභොග කරයිද, ගාමණිය, මේ කාමභෝගී තෙම කරුණු සතරකින් පැසසිය යුතු වෙයි. කවර කරුණු සතරකින් පැසසිය යුතුවෙයිද, ධර්මයෙන් නොසැහැසිව වස්තුව සපයයිද, මේ පළමුවෙනි කරුණින් පැසසිය යුතු වෙයි. සැප විඳියි පිණවයි යන මේ දෙවෙනි කරුණින් පැසසිය යුතු වෙයි. බෙදයි. පින් කරයි යන මේ තුන්වෙනි කරුණින් පැසසිය යුතුවෙයි. ඒ වස්තුව නොඇලී නොගිලී මුසපත් නොවී ආදීනව දක්නේ නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තව පරිභොග කෙරෙයි යන මේ සතරවෙනි කරුණින් පැසසිය යුතුවෙයි. ගාමණිය, මේ කාමභොගීතෙම මේ කරුණු සතරින් පැසසිය යුතුවෙයි.”

https://pitaka.lk/main?n=281110
https://pitaka.lk/main?n=28119
https://pitaka.lk/main?n=241712

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll