831. කෙසේ වඩන ලද මෛත්‍රිය මෙසේ මහානිසංස වේද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. 1. යමෙක් සක්වලක් පුරවා බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට අෂ්ට පරිෂ්කාර දන්දෙනවාට වඩා. මොහොතක් සියලු සතුන් කෙරෙහි මෙත් වැඩීමම මහානිසංස බව දක්වන ලද සූත්‍රය කුමක්ද?

2. කෙසේ වඩන ලද මෛත්‍රිය මෙසේ මහානිසංස වේද? මොකද "සියලු සත්වයෝ සුවපත් වේවා" කියලා මොහොතක් සිතන එක ඒ තරම් අපහසු නැහැනේ...එහෙම මොහොතක් හිතන එක බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන්දෙනවට වඩා මහත්ඵල වේයයි සිතන්නට අපහසුයි.

A / R. 1. වෙලාම සූත්‍රය - "ගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි නම් යමෙකුත් දිට්ඨිසම්පන්නයකු වළඳවා නම්, යමෙකුත් සියක් දිට්ඨිසම්පන්නයන් වළඳවා නම්, යමෙකුත් එක් සකෘදාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් සකෘදාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් අනාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් අනාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් රහතකු වළඳවා නම්, යමෙකුත් සියක් රහතුන් වළඳවා නම්, යමෙකුත් එක් පසේ බුදු කෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් සියක් පසේබුදුකෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වළඳවා නම්, යමෙකුත් බුදුපාමොක් බික්සඟුන් වළඳවා නම්, යමෙකුත් සිවුදිග්හි සඟුන් උදෙසා වෙහෙරක් කරවා නම්, යමෙකුත් පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යේ නම්, යමෙකුත් පහන් සිතැතියේ පණිවායෙන් දුරුවීම ය … මඳ පමා දෙකට කරුණු රහමෙරින් දුරුවීමය යන සිකපද සමාදන් වේ නම්, යමෙකුත් යටත් පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලකුත් මෙත් සිත් වඩා නම් යමෙකුත් අසුරුසන් ගසන පමණ කලකුත් අනිත්‍ය සංඥා වඩා නම් මේ එයට මහත්ඵලතර යි."

R. 1. වේලාම සූත්‍රය -"ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම යම් ඒ මහා දානයක් දුන්නේද, යමෙක් එක දෘෂ්ටිසම්පන්නයෙක් (සෝවාන්වූවෙකු) වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම යම් ඒ මහා දානයක් දුන්නේද, යමෙක් දෘෂ්ටිසම්පන්න (සෝවාන්) පුද්ගලයන් සියයක් වළඳවන්නේද, යමෙක් එක් සකෘදාගාමී පුද්ගලයෙක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම යම් ඒ මහා දානයක් දුන්නේද, යමෙක් සකෘදාගාමී පුද්ගලයන් සියයක් වළඳවන්නේද, යමෙක් එක් අනාගාමී පුද්ගලයෙකු වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් අනාගාමී පුද්ගලයන් සිය ගණනක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් එක් රහත් පුද්ගලයෙකු වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් සිය ගණන් රහතුන් වහන්සේලා වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් එක් පසේ බුදුන් වහන්සේ නමක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් සිය ගණන් පසේ බුදුන් වහන්සේලා වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් තථාගතවූ, අර්‍හත්වූ සම්‍යක් සම්බුදුන් වහන්සේ නමක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් බුද්‍ධ ප්‍රමුඛ භික්‍ෂු සංඝයා වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් සතර දිගින් වඩින සංඝයා උදෙසා විහාරයක් කරවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමකේ පහන් සිත් ඇතිව, බුදුන්ද, ධර්‍මයද, සංඝයාද, සරණකොට යන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් පහන් සිත් ඇතිව ප්‍රාණඝාතයෙන් වැළකීම, නුදුන් දෙය ගැනීමෙන් වැළකීම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකිම, බොරු කීමෙන් වැළකීම, පමාවට කරුණුවූ රහමෙර මත් ද්‍රව්‍ය පානයෙන් වැළකීම, යන ශික්‍ෂා පදයන් සමාදන් වන්නේ, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් යටත් පිරිසෙයින් සුවඳ පිඩක් දෑඟුලෙන් ගෙන ඉසීම් පමණකුදු මෙත් සිත වඩන්නේද, මෙය එයට වඩා මහත් ඵලතරය."

A. 2. රූපාවචර (මහග්ගත) කුසලය, කාමාවචර කුසලයට වඩා බලවත් බැවිනි.

{T / R. "කුශලය - (අ) භූමි භේදයෙන් - i කාමාවචරය - ii රූපාවචරය - iii අරූපාවචර - iv ලෝකෝත්තරයැ යි සතර වැදෑරුම් වේ."

T / R. "තත්ථ ¶ කුසලං භූමිභෙදතො චතුබ්බිධං කාමාවචරං රූපාවචරං අරූපාවචරං ලොකුත්තරඤ්ච."}

A / R. 2. “ඒ භික්ෂුතෙම මෛත්‍රිය සමග පැවැත්තාවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරේ. දෙවෙනි දිසාවද එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවදැයි, මෙසේ උඩද යටද හරහදැයි සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය මෛත්‍රිය සමග පැවැත්තාවූ මහත්වූ උසස් බවට පැමිණියාවූ ප්‍රමාණ කළ නොහැකිවූ වෛර නැත්තාවූ ක්‍රොධ රහිතවූ සිතින් පතුරුවා වාසය කෙරේ”
“වාසෙට්ඨය, බලසම්පන්නවූ සක් පිඹින්නෙක් පහසුවෙන්ම හතර දිසාවන් සක්ගෙඩි නාදයෙන් යම්සේ පතුරුවන්නේද, වාසෙට්ඨය, එසේම වඩන ලද්දාවූ මෛත්‍රී සහගත සමාධියෙන් (කෙලෙස් සහිත හෙයින්) ප්‍රමාණ කරන ලද කාම ලෝකයට අයත් යම් කුශල කර්මයක් වේද, (කාමාවචර) ඒ කාම ලෝකයට අයත් කුසල කර්මය තෙමේ ඒ මහද්ගත කුසල කර්මය (රූපාවචර, අරූපාවචර කුසලය) යටපත්කර නොසිටි එය මැඩගෙන නොපිහිටයි. මේ මාර්ගයද බ්‍රහ්මයාගේ සහභාවය පිණිස පවතී."

A / R. 2. “ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ අභිධ්‍යාව පහකළේ ව්‍යාපාදය පහකළේ මුළා නොවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ මෛත්‍රීසහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙවෙනි දිසාවක් එසේ තුන්වෙනි දිසාවක්, එසේ සතරවෙනි දිසාවක්, මෙසේ උඩ යට සරස සර්වප්‍රකාරයෙන් හැමතැන සියල්ල සහිත ලෝකය විශාලවූ මහද්ගතවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ව්‍යාපාද නැත්තාවූ මෛත්‍රි සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“ගාමණිය, බලවත් සක්පිඹින්නෙක් අපහසුවක් නැතිවම සතර දිසාවට දන්වන්නේද, එසේම ගාමිණිය මෙසේ වඩනලද මෙසේ බහුල වශයෙන් කරනලද මෛත්‍රීසහගත සමාධිය කාමාවචර කර්මයෙන් මැඩ පැවැත්විය නොහේ. යටකළ නොහේ."

R / KN ඉතිවුත්තක අටුවාව. 2.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll