399. අඳුරු උමඟක් දැකීම?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මරණාසන්න අවස්ථාවේ අඳුරු උමගක් දැකීම වැනි දෙයක් දක්නට ලැබීම ගැන බුදු දහම ඇසුරෙන් වැඩි දුරටත් විස්තර කරන්න පුලුවන්ද?

A / R. “ගතිනිමිත්තය යනු කර්මය හේතු කොට මතු උපදින ස්ථානයේ ඇති දෙයකි. සමහර කෙනකුට මරණාසන්නයේ දී ගතිනිමිත්ත පෙනේනේ ය. නරකයේ උපදනා සත්ත්වයනට ගිනිජාලා යමපල්ලු ආදි භයංකර දේ ගතිනිමිත්ත වශයෙන් දර්ශනය වේ. ප්‍රේත ව උපදිනුවන්ට ප්‍රේතයන් ගේ වාසස්ථානාදිය දර්ශනය වේ. මවු කුසයක උපදිනුවන්ට රතුරෙද්දක් සේ ඒ මවු කුසයම දර්ශනය වේ. මේවා දර්ශනය වන්නේ ද සිහින පෙනෙන්නාක් සේ සිතට ය. කලාතුරකින් කෙනකුට ගතිනිමිත්ත ඇසට නො පෙනෙන්නේ නො වේ. මරණාසන්නයෙහි මේ තුන අතුරෙන් එළඹ සිටි දෙයක් අරමුණු කරමින් මැරෙන සත්ත්වයා ගේ චිත්ත සන්තතිය පවත්නේ ය.
ගති නිමිත්තය යනු මතු උපදින භවය සම්බන්ධ දේවල් ය. නරකයෙහි උපදනා සත්ත්වයනට මහ ගිනි දැල්, ලෝදිය, ගිනි අඟුරු ආදිය හා යම රාක්ෂයන් ද, නපුරු සතුන් ද වැටහේ. ඒ වැටහීම ඒ දේවල් ඒ ඒ තැන්වල ම ඇති සැටියටත් සමහර විට තමා සමීපයට ඒවා පැමිණ ඇති සැටියටත් සිදු වේ. දෙව්ලොව උපදනා අයට දිව්‍ය විමාන - රථ - උයන් - කල්ප වෘක්ෂ ආදිය ද, දෙවියන් හා දිව්‍යාඞ්ගනාවන් ද ගති නිමිත්ත වශයෙන් වැටහේ. මිනිස් ලොව උපදින්නවුන්ට මාතෘ ගර්භය ගති නිමිත්ත වශයෙන් වැටහේ. තිරිසන් යෝනියෙහි උපදින්නවුන්ට කැලෑ ආදිය වැටහේ."

{"මරණාසන්න සත්ත්වයා ගේ චිත්තසන්තානයට කර්මය, කර්මනිමිත්තය, ගතිනිමිත්තය යන තුනෙන් එකක් එළඹ සිටින්නේ ය. එහි කර්මය යනු මැරෙන්නා වූ සත්ත්වයා විසින් ඒ භවයෙහි කළා වූ ද එයට පෙර භවවල දී කළා වූ ද කුශලාකුශල කර්මයෝ ය. මරණාසන්න සත්ත්වයා හට තමා කරන ලද කුශලාකුශල කර්මයන් අතුරෙන් යම්කිසිවක් ඒ අවස්ථාවේ දී සිහි වේ. එය කර්මය එළඹ සිටීම ය.

කර්මනිමිත්තය යනු කර්මය සිදු කිරීමට උපකරණ වූ වස්තූන් හා පුද්ගලයෝ ය. සමහර විට මරණාසන්න සත්ත්වයා ගේ සිතට කර්මය එළඹ නො සිට කර්මනිමිත්ත එළඹ සිටින්නේ ය. ප්‍රාණඝාතය කළවුන්ට මරනු ලැබූ සත්තු හෝ ඔවුන් ගේ මස් හෝ ප්‍රාණඝාතයට වුවමනා උපකරණ හෝ එයට සහාය වූ පුද්ගලයෝ හෝ පෙනෙත්. දන්දුන් තැනැත්තා හට ආහාරපානාදි දාන වස්තු හෝ ප්‍රතිග්‍රාහකයෝ හෝ සහාය වූ පුද්ගලයෝ හෝ පෙනෙත්. වන්දනා කළ තැනැත්තා හට, විහාර චෛත්‍ය-මල්-පහන් ආදි වස්තු පෙනෙන්නේ ය. ඒවා තමා ගේ සමීපයේ ම තිබීනම් කර්ම නිමිත්ත වශයෙන් ඇසට ම පෙනෙන්නේ ය. පුරාණ කර්මයන් ගේ නිමිති සිහින පෙනෙන්නාක් මෙන් සිතට ම පෙනෙන්නේ ය.”}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll