Q. ගෞරවනීය ස්වාමීන්වහන්ස / මහත්මයාණෙනි / මහත්මියණි,
තෙවරක් සාදූකාර (සාධුකාර) දෙනු ලබන්නේ ඇයි? එසේ සිදු කිරීමට හේතුව ත්‍රිපිටකය අටුවාවේ සදහන් ස්ථාන සමග පෙන්වන්නේ නම් විශාල උපකාරයක්. (අප සිදු කරන මෙවන් උතුම් ක්‍රියාවන් වල අරුත දැනම සිදු කිරීම වඩාත් යෝග්‍ය නිසා මේ ප්‍රශ්ණය යොමු කළෙමි.) තෙරුවණ් සරණයි!
A. 'බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා!'; 'ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා!'; 'සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා!' යැයි එක් එක් රත්නයක් වරකට සිහිකොට (ඒ ඒ රත්නයේ ගුණ දැන) කරන නමස්කාරය මෙසේ තෙවරක් කිරීමෙන් (සිහි) කරනවා විය හැකි ය.
[එසේ කරනවා නම් වටිනා (ප්‍රඥා සම්ප්‍රයුක්ත - ත්‍රිහේතුක) පිං-කුසල් රැස් වේ.]
A. එක් වරකට වඩා තෙවරක් කීම සාංසාරික - චිරාගත සම්ප්‍රදාය වනවා මෙන් ම, සපථ කිරීමේ අටියෙන් ස්ථිරසාර ප්‍රකාශ බරකොට තෙවරක් කීමෙන්, මනෝවිද්‍යාත්මකව එය සිතේ ප්‍රබලව ලැගුම් ගන්නා ස්වභාවය - මනසට දැනෙන ස්ථිරසාර බාවය - සිතට කිඳා බසිනා බව ද වැඩිය.
[තෙවරක් කියන සෑම දෙයකට ම මෙය අදාළ වේ.]
තව ද, *“... එසේ ගුණ ලැබෙන්නේ වචනවල හෙවත් ශබ්දවල යම්කිසි බලයක් ඇති නිසාය. වචනවල ඇති බලය එතරම් මහත් එකක් නොව සුළු බලයෙකි. වාර බොහෝ ගණනක් කීමෙන් ඒ බලය වැඩි වේ. පිරිත්, සෙත් කවි, මන්ත්‍ර වාර බොහෝ ගණනක් කිය යුත්තේ ඒ නිසා ය. කියන වාර වැඩි වූ තරමට ගුණය වැඩි වේ. ....
තේරුම් නො දැන වුවද .... හරියට කියත හොත් ශබ්දයෙන් ලැබෙන ගුණය ලැබෙන්නේ ය.”
[A / T. කායේන සංවරෝ සාදු
සාදු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාදු.
කයෙන්, වචනයෙන්, සිතින් සංවර වීමේ හොඳයි කියලා මතක් කරගෙන තුන් වරක් සාදුකාර දෙන්නේ.
T. "කායෙන සංවරො සාධු සාධු වාචාය සංවරො,
මනසා සංවරො සාධු සාධු සබ‍්බත්‍ථ සංවරො,
සබ‍්බත්‍ථ සංවුතො ලජ‍්ජී රක‍්ඛිතොති පවුච‍්චතීති.
කයින් සංවරය මැනවි. වචනයෙන් සංවරය මැනවි. සිතින් සංවරය මැනවි. හැම තන්හි සංවරය මැනවි. හැම තන්හි සංවෘත වූ ලජ්ජා ඇත්තේ රැකුනේ ය යි කියනු ලැබේ."
"කායෙන සංවරො සාධු සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු සාධු සබ‍්බත්‍ථ සංවරො.
සබ‍්බත්‍ථ සංවුතො භික‍්ඛු සබ‍්බදුක‍්ඛා පමුච‍්චති.
කයින් (කායද්වාරයෙන්) සංවරය මැනැවි. වචසින් (වාග්ද්වාරයෙන්) සංවරය යහපති. සිතින් (මනොද්වාරයෙන්) සංවරය යහපති. චක්ෂුරාදි වූ සදොර රැකීම මැනැවි. චක්ෂුරාදි සදොරෙහි ම සංවෘත වූ භික්ෂු තෙම සියලු සසර දුකින් මිදෙයි."
*{"ගුණ ලැබෙන ලෙස පිරිත් කියයුතු අන්දම
පිරිතෙන් හොඳින් ම ගුණ ලැබෙන්නට නම් නොවරදවා හොඳින් පාඩම් කරගෙන පිරිත්වල අර්ථ (අදහස්) ද දැන ගෙන කිය යුතු ය. දැනට පිරිත් කියන අය අතර ඒවායේ තේරුම් දැන ගෙන කියන අය ගිහියන් අතර තබා පැවිද්දන් අතර ද ඉතා හිඟය. තේරුමක් නැති ව කියන පිරිතේ බලය අඩු ය. එහෙත් ගුණයක් නො ලැබෙන්නේ ද නොවේ. පිරිත නො වරදවා පාඩම් කරගෙන හරියට කියතහොත් එයින් ද තරමකට ගුණ ලැබේ. එසේ ගුණ ලැබෙන්නේ වචනවල හෙවත් ශබ්දවල යම්කිසි බලයක් ඇති නිසාය. වචනවල ඇති බලය එතරම් මහත් එකක් නොව සුළු බලයෙකි. වාර බොහෝ ගණනක් කීමෙන් ඒ බලය වැඩි වේ. පිරිත්, සෙත් කවි, මන්ත්‍ර වාර බොහෝ ගණනක් කිය යුත්තේ ඒ නිසා ය. කියන වාර වැඩි වූ තරමට ගුණය වැඩි වේ. පිරිත් හඬෙහි බිය ගන්වනබලය, බිය දුරු කරන බලය, වශීකරන බලය හෙවත් අන්‍යයන්ගේ සිත් සතුටු කරන සිත් ඇදගන්නා බලය, ශරීරයේ වා පිත් සෙම් යන තුන්දොස් සමනය කිරීමේ බලය, ශරීරයේ සප්ත ධාතූන් වර්ධනය කිරීමේ බලය, නොයෙක් වේදනා නොයෙක් රෝග දුරු කිරීමේ බලය, සැප සම්පත් ලබාදීමේ බලය, අමනුෂ්‍යයන්ගෙන් සොරුන්ගෙන් සතුරන්නේ සර්පයන්ගෙන් ආරක්ෂා කිරීමේ බලය, ග්‍රහ අපල ඇස්වහ කටවහ ආදි දෝෂ දුරු වීමේ බලය යනාදි නොයෙක් බල ඇත්තේ ය.
මන්ත්‍රලට ගෙන ඇති වචනවලට හොඳ නරක දෙක ම සිදු කිරීමේ බල ඇත්තේ ය. රෝග සුව කිරීමේ බල, රෝග ඇති කිරීමේ බල, සිත් සන්සුන් කිරීමේ බල, සිත් වික්ෂිප්ත කොට උමතු කිරීමේ බල, අමනුෂ්‍යයන් දුරු කිරීමේ බල, ඔවුන් ගෙන්වීමේ බල, සමගි වූවන් භේද කිරීමේ බල, භේද වූවන් සමගි කිරීමේ බල, ඉන්නා තැනින් පන්නා දැමීමේ බල, අන්‍ය්‍යන්ගේ සිත් ඇද ගන්න බල යනාදි අනේක ප්‍රකාර බල මන්ත්‍රවල, කවිවල ඇත්තේ ය.
පිරිත් අතුරෙන් කරණීය මෙත්ත සූත්‍රය බෙහෙවින් වශීකරණ බලය ඇති සූත්‍රයෙකි. එය බොහෝ කොට භාවිත කිරීමෙන් ජනප්‍රිය පුද්ගලයකු විය හැකි ය.
අන් සෑම පිරිත් සූත්‍රයකට වඩා ලස්සනට මිහිරියට කිය හැකි සූත්‍රය කරණීය මෙත්ත සූත්‍රය ය. එහි වඩාත් වශීකරණබලය ඇත්තේ ඒ නිසා ය. දික් අකුරු කෙටි අකුරු අල්ප අකුරු මහප්‍රාණ අකුරු වරදවන්නේ නැතිව වචන මැදින් බිඳින්නේ නැතිව එක් වචනයක් අග හෝ මුල් අකුරක් අන්වචනයකට එකතු නො කර වෘත්තය නොබිඳ නියම තාලයට මේ සූත්‍රය කියන්නට පුරුදු කරගත යුතු ය. මේ ගාථා, ගාථා තාලයට මිස මන්ත්‍ර කියන තාලයට වේගයෙන් නො කිය යුතු ය. එසේ නියම තාලයට නො වරදවා මේ සූත්‍රය කියතහොත් එහි අර්ථ නො තේරෙතත් ගුණ ලැබෙනු ඇත. සමහරවිට වරදවා කියන පිරිත්වලින් මන්ත්‍රවලින් දොස් ඇති වන්නට ද බැරි නැත. තේරුම් නො දැන වුවද පිරිත හරියට කියත හොත් ශබ්දයෙන් ලැබෙන ගුණය ලැබෙන්නේ ය."}