338. බුදුගුණ අනන්තයි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදුගුණ කපක් මුළුල්ලේ දේශනා කලත් අවසන් නොවන්නේ යැයි, අනන්ත යයි කියන්නේ ඇයි?

A / R. “බුදුගුණ ඉතා බොහෝය. ආකාශය සේ අනන්තය. කියා නිම කළ නො හැකිය.

බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං
කප්පම්පි චෙ අඤ්ඤමභාසමානො
ඛීයෙථ කප්පො චිරදීඝමන්තරෙ
වණ්ණො න ඛීයෙථ තථාගතස්ස

බුදුකෙනෙකුන් විසින් අනිකක් නො කියමින් කපක් මුළුලෙහි බුදුගුණ ම කීවද දීර්ඝ කාලයකින් කල්පය ගෙවී යනු මිස බුදුගුණ කියා නො නිමෙන බව මේ ගාථාවෙන් දක්වන ලදී. මේ මහා බුද්ධ ගුණස්කන්ධයෙහි පෘථග්ජනයන්ට අවිෂය බොහෝ අලෞකික ගුණද ඇත්තේ ය. සර්වාකාරයෙන් බුදුගුණ දන්නෝ බුදුවරයෝම ය. ශාරිපුත්‍රාදී මහරහතන් වහන්සේලා වුවද සර්වාකාරයෙන් බුදුගුණ දැන ගැනීමට සමත් නො වන්නාහ.”

ඒ ඒ පුද්ගලයන්ගේ බුදුගුණ දැනීමේ තත්වය දීඝනිකාය සම්පසාදනීය සූත්‍ර අටුවාවෙහි මෙසේ විස්තර කර තිබේ.

ලෞකික මහජනයා තම තමා දත් පරිදි බුදුගුණ සිහි කරති. සකල ලෞකික මහජනයාට වඩා එක් සෝවාන් පුද්ගලයෙක් බුදුගුණ මහත් කොට අදහයි. සෝවාන් පුද්ගලයන් සියයකට දහසකට ද වඩා එක් සකෘදාගාමී පුද්ගලයෙක් බුදුගුණ මහත් කොට අදහයි. සකෘදාගාමීන් සියයකට දහසකට ද වඩා එක් අනාගාමී පුද්ගලයෙක් බුදුගුණ මහත් කොට අදහයි. අනාගාමීන් සියයකට දහසකට ද වඩා එක් අර්හත් පුද්ගලයෙක් බුදුගුණ මහත් කොට අදහයි. සාමාන්‍ය අර්හත් පුද්ගලයන්ට වඩා අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා බුදුගුණ මහත් කොට අදහති. අසූමහා ශ්‍රාවකයන් අතුරෙනුදු මහා කාශ්‍යප අනුරුද්ධ මහාකච්චාය මහාකොට්ඨිත යන මහා රහතන් වහන්සේලා බුදුගුණ මහත් කොට අදහති. උන්වහන්සේලාට වඩා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම ද උන්වහන්සේලාගෙන් සැරියුත් මහ තෙරුන් වහන්සේ ද බුදුගුණ මහත් කොට අදහති. සැරියුත් මහ තෙරුන් වහන්සේටද වඩා එක් පසේ බුදු කෙනෙකුන් වහන්සේ බුදුගුණ මහත් කොට අදහති. සිවුරු කොන් එකිනෙක ගැටී සිටින පරිදි සක්වළ පුරා වැඩසිටින පසේ බුදුවරයන් වහන්සේලා සමූහයක් විසින් සිහි කරන බුදුගුණ වලට වඩා එක් ලොවුතුරා බුදු කෙනෙක් බුදුගුණ මහත් කොට අදහන්නහ.

ආර්යය පුද්ගලයන්ට මිස පෘතග්ජනයන්ට ගැඹුරු බුදුගුණ දත හැකි නො වතුදු වන්දනා පූජාවන් මහත්ඵල කර ගැනීමට පෘතග්ජනයන් විසින් දත හැකි බුදුගුණ දැනගැනීම ම ප්‍රමාණවත් බව කිය යුතු ය. පෘතග්ජනයන්ගේ බුදුගුණ දැනීමද අනේකාකාරය. ඇතැම්හු මඳක් බුදුගුණ දනිති. ඇතැම්හු බොහෝ දනිති. ඒ ඒ පුද්ගලයාගේ දැනීම අනුව පුණ්‍යඵලයේ අඩු වැඩි බව සැලකිය යුතු ය.

පුණ්‍යඵලය පිළිබඳ දැනීම් හෝ නො දැනීම් අනුව ද කුශලයාගේ අල්පඵල මහත්ඵල භාවය කිය යුතු ය. වැඳුම් පිදුම් කිරීමේදී පුණ්‍යඵලය නො දැන කරන්නහු ගේ කුශලය අල්ප ඵල වේ. මඳක් දන්නහු ගේ කුශලය මධ්‍යම ඵල වේ. බොහෝ දන්නහු ගේ කුශලය මහත් ඵල වේ.

කිං පන සම්මාසම්බුද්ධෙන සාරිපුත්තථෙරස්ස දින්නං මහප්ඵලං, උදාහු සාරිපුත්තත්ථෙරෙන සම්මාසම්බුද්ධස්සාති? සම්මාසම්බුද්ධෙන සාරිපුත්තත්ථේරස්ස දින්නං මහප්ඵලං, කස්මා? සම්මා සම්බුද්ධං ඨපෙත්වා අඤ්ඤො දානස්ස විපාකං ජානිතුං සමත්ථො නාම නත්ථි

(දක්ඛිණාවිභංග සුත්තට්ඨකථා)

මේ අටුවා පාඨයෙන් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සැරියුත් මහ තෙරුන් වහන්සේට දෙන දානය ය. සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට දෙන දානය ය. යන මේ දෙකින් වඩා මහත්ඵල විය යුත්තේ කවර දානයක් ද යන මේ ප්‍රශ්නය නඟා බුදුන් වහන්සේ විසින් සැරියුත් මහ තෙරුන් වහන්සේට දෙන දානය වඩා මහත්ඵල බව දක්වති. එයට හේතුව සැරියුත් මහ තෙරුන් වහන්සේට වඩා තථාගතයන් වහන්සේ දාන ඵලය දන්නා බවය යි කියති. ප්‍රතිග්‍රාහක ගුණසම්පත්තිය අනුවම දාන ඵලය කියතහොත් ශ්‍රාවකයකු වන සැරියුත් මහ තෙරුන් වහන්සේට දීමට වඩා බුදුන් වහන්සේට දීම මහත්ඵල බව කිය යුතු ය. තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේට වඩා ගුණයෙන් ඉතා පහත් වන සැරියුත් මහ තෙරුන් වහන්සේට දීම මහත්ඵල දැක්වීම පිනක් මහත්ඵල වීම පිළිබඳව ප්‍රතිග්‍රාහක ගුණයට වඩා දායකයාගේ අනුසස් දැනීම ප්‍රදාන කාරණයක් වන බව කිය යුතු ය. තථාගතයන් වහන්සේ හා සැරුයුත් මහ තෙරුන් වහන්සේ පිළිබඳ වූ මේ දාන කථාව උපමා කථාවෙකි. මෙයින් දානාදි ක්‍රියා කිරීමෙන් බුදුන්වහන්සේට හෝ සැරුයුත් මහ තෙරුන් වහන්සේට පින් සිදු වෙතැයි වරදවා නො දත යුතුය. මතු උත්පත්තියට හේතු වන තණ්හාව අර්හත්මාර්ගයෙන් සම්පූර්ණයෙන් නැසූ බුද්ධාදීන්ට පින් පව් සිදුවීමක් නැත. ඉහත කී අටුවා පාඨයෙන් දැක්වෙන්නේ පිනක් වෙත හොත් ඉතා හොඳින් දානයෙහි අනුසස් දන්නා වූ තථාගතයන් වහන්සේගේ දානය වඩා මහත්ඵල දානයක් වන බවය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll