326. දුප්පත් වෙන්නෙ ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පෙර කල අකුසල කර්ම නිසාම ද වර්ථමාන ජිවිතය තුළ දුක උරුම වෙන්නේ? බුද්ධිය ලැබුනද සුදුසු රැකියාවක් හෝ හරි හමන් මුදලක් සතු නොවන්නට හේතුවක් තිබේද?

A / R. “1. බොහෝ දුරට පාපය ගෙවුණු කල්හි දු ඉතා අමාරුවෙන් බත් පැන් ලබන්නා වූ දිළින්දෝ වෙති. ඔවුන් විසින් ධනය සැපයීමට කරන ව්‍යායාමයෝ ද බොහෝ සෙයින් නිෂ්ඵල වෙති. අමාරුවෙන් ධනය ලැබුයේ ද ඔවුන් කෙරෙහි එය නො පවතී. මා පියාදීන් ගෙන් දායාද වශයෙන් යමක් ලදත් එද ඔවුන් අතේ වැඩි කල් නො පවතී. ඔවුනට නිතර ම නැතය නැතය කියා තැවි තැවී සිටින්නට ම සිදු වේ. මෙ සේ අදත්තාදානය මහත් දුක් දෙන පාපයක් බව දැන සුව කැමැත්තෝ අන් සතු වස්තුව විෂ මෙන් සලකා ඒවා ගැනීමෙන් වළකිත්වා!

2. නොයෙක් රෝග ඇති කිරීම, තනතුරුවලින් පහකිරීම, නෑයන් මිතුරන් නැති කිරීම, ධනය නැති කිරීම, කෙත් වතු පාළු කිරීම, රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් හානි පැමිණවීම යනාදියෙන් වරින්වර සත්ත්වයාට පීඩා කරන්නා වූ කර්මය උපපීඩක කර්ම නම් වේ. ප්‍ර‍තිසන්ධි දානයට නො සමත් දුබල කර්මයෝ ද, ප්‍ර‍තිසන්ධියක් එතෙක් ඇති නො කළා වූ ජනක කර්මයෝ ද, වරක් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන් ජනක කර්මයෝ ද උපපීඩක වශයෙන් විපාක දෙන්නාහු ය. උපපීඩක කර්මයෙන් කලින් බලවත් වූ කර්මයෝ ද දුබල කෙරෙති. බලවත් අකුශලයක් කළා වූ තැනැත්තා විසින් ඒ අකුශලයට විරුද්ධ වූ කුශල් පසු ව බොහෝ කරන ලද්දේ නම්, පසු ව කළා වූ කුශල බලයෙන් කලින් කළ බලවත් අකුශලය දුබල වේ. පසුව කළා වූ කුශලයෝ අකුශල කර්මයට උපපීඩක වෙති.

3. අන්‍ය කර්මයකින් උපන් සත්ත්වයාහට නොයෙක් රෝග ඇති කිරීම්-සතුරන් ඇති කිරීම් - කෙත් වතුවලට හානි පැමිණවීම් - රස්සාව නැති කිරීම් - නින්දා ලබාදීම් - චෝදනා ඇති කිරීම් ආදියෙන් වරින් වර පීඩා කරන්නා වූ කර්මය උපපීඩක කර්ම නම් වේ. කුශලාකුශල දෙකින් ම උපන් සත්ත්වයනට වරින් වර අකුශල කර්මවලින් පීඩා කරන බව කිය යුතු ය. සත්ත්වයන් කෙරෙහි බල පවත්වන කුශල උපපීඩක කර්ම අප්‍ර‍කට ය.”

[දුප්පත්කම ... ආදිය ජය ගැනීමට (අලසකම දුරලා,) (නොපසුබස්නා) විර්යය ද අත්‍යවශ්‍ය ය.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll