Q. බහුස්සුත සූත්‍රයේ සඳහන් වෙනවා ස්වාමින් වහන්සේ කෙනෙක් බුදු රජාණන් වහන්සේගෙන් "වහන්ස, කවරකු විසින් ලෝකය ගෙණයනු ලැබේ ද? අදනා ලැබේ ද? උපන් කවරක්හුගේ වසයට යේ ද? " යනුවෙන් පැනයක් විමසූ බව.
එයට බුදු රාජාණන් වහන්සේ ලබා දුන් පිළිතුර පහත දැක්වෙනවා.
"මහණ, සිත විසින් ලෝකය ගෙණයනු ලැබේ. සිත විසින් අදනා ලැබේ. උපන් චිත්තයාගේ වසයට යෙයි"
මේ පිළිතුර පහදා දිය හැකිද ?
‘කෙන නු ඛො, භන්තෙ, ලොකො නීයති, කෙන ලොකො පරිකස්සති, කස්ස ච උප්පන්නස්ස වසං ගච්ඡතී’’ති?
‘චිත්තෙන ඛො, භික්ඛු, ලොකො නීයති, චිත්තෙන පරිකස්සති, චිත්තස්ස උප්පන්නස්ස වසං ගච්ඡතී’’ති.
A. හිත නැති නම්, සිතේ ම ඇතිවන සිත් - සිතුවිලිවලට මුලාවීමක්වත්, කිසිම කුසලයක් - අකුසලයක් කරන්නේවත්, සැප - දුක් විඳීමක්වත්, සුගති - දුගතිවල ඉපදීමක්වත්, සංසාර ප්‍රවෘත්තියක්වත්, මොනම දෙයක්වත් කීමක් - කිරීමක් - සිතීමක්වත් නෑ නේද? අන්න ඒ අර්ථයෙන් සිත ම ප්‍රධාන ධර්මය (ධාතුව) ලෙස සලකනවා.
Q. බොහොම පින්! මෙතනදී ලෝකය යැයි ගැනෙන්නේ පංච උපාදානස්කන්ධ ලෝකයද?
A. සත්ත්ව ලෝකය.
T. "නැතහොත් දුකෙහි හෙළයි යොදයි යන අරුතින් පාති නම් වේ. සිතය. ‘චිත්තෙන නීයති ලොකො චිත්තෙන පරිකස්සති’ ‘ලෝවැසියා සිතෙන් ගෙනයනු ලැබේ. සිතෙන් එහාට මෙහාට අදියි’ යනුවෙන් කියන ලදී."
"අථ වා පාතෙති විනිපාතෙති දුක‍්ඛෙති පාති, චිත‍්තං. වුත‍්තඤ‍්හි “චිත‍්තෙන නීයති ලොකො, චිත‍්තෙන පරිකස‍්සතී”ති (සං• නි• 1.62)."
T. "... මෙසේ මේ චිත්තය මුළුලොව ම තමාගේ වශයට ගෙන සත්ත්වයන්ට සැපදුක් දෙක ම ගෙන දෙන බැවින් තථාගතයන් වහන්සේ විසින් :
“චිත්තෙන නීයති ලෝකෝ - චිත්තෙන පරිකස්සති.
චිත්තස්ස එකධම්මස්ස - සබ්බෙව වසමන්වගු”
යනු වදාරන ලදි. “ලෝවැසි තෙම සිතින් මනුෂ්‍ය තිරශ්චීනාදි ගතිවලට පමුණුවනු ලබන්නේ ය. සිතින් ඒ ඒ ගතිවලට අදිනු ලබන්නේ ය. ලොව සියල්ලෝ ම එක ධර්මයක් වූ චිත්තයාගේ වශයට අනුව ගියාහුය.” යනු මෙහි අදහසයි.
මෙසේ බලන කල සිතට අවනත නො වන්නා වූ කිසි ම ධර්මයක් මිනිස් ලොව හෝ දෙව්ලොව හෝ බඹලොව හෝ අන් තැනක හෝ නැති බව පෙනේ. සිත වූ ඒ ප්‍රධාන ධර්මය අභිභවනය කරන්නා වූ අන් ධර්මයක් ද කිසි තැනක නැත්තේ ය. එබැවින් සිත ම ලෝකයෙහි ප්‍රධාන ධාතුව, ප්‍රධාන ධර්මය වේ.
ලෝකයෙහි ප්‍රධාන ධාතුව වූ චිත්තය ශුද්ධ වූ කල්හි එයින් සත්ත්වයා සැපතට ද, අශුද්ධ වූ කල්හි දුකට ද පමුණුවනු ලැබේ. සත්ත්වයාගේ සිත ප්‍රකෘතියෙන් ශුද්ධ වූවකි. කිලිටිවීම පසු ව සිදුවන්නකි. එබැවින් තථාගතයන් වහන්සේ විසින් “පහස්සරමිදං භික්ඛවේ, චිත්තං තඤ්ච ඛො ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්කිලිට්ඨං” යනු වදාරන ලදි. “මහණෙනි, මේ සිත ප්‍රකෘතියෙන් ප්‍රභාස්වරය, ශුද්ධය, එය ආගන්තුක වූ (අමුතුවෙන් පැමිණෙන්නා වූ) උපක්ලේශයන් විසින් කිලිටි කරනු ලැබේය” යනු එහි තේරුමයි.
යම් සේ ශුද්ධ වූ ජලය කුණුකසල පැමිණීමෙන් අපවිත්‍ර වන්නේ ද, ශුද්ධ වූ වස්ත්‍රය ඩහදිය දූලි ආදිය පැමිණීමෙන් කිලිටි වන්නේ ද, එමෙන් ශුද්ධ වූ චිත්තය චිත්තෝපක්ලේශයන් හා සංයෝගයෙන් කිලිටි වන්නේ ය. සිත කිලිටි වීමෙන් සත්ත්වයා ද කිලිටි වන්නේ ය. සිත ශුද්ධ වීමෙන් සත්ත්වයා ද ශුද්ධ වන්නේ ය. ඒ බව “චිත්තසංකිලේසා භික්ඛවෙ, සත්තා සංකිලිස්සන්ති, චිත්ත වෝදානා විසුජ්ඣන්ති” යනුවෙන් වදාරන ලදි. “මහණෙනි, සිත කිලිටි වීමෙන් සත්ත්වයෝ කිලිටි වන්නාහ, සිත ශුද්ධ වීමෙන් ශුද්ධ වන්නාහුය” යනු එහි තේරුමයි.
“රූපේන සංකිලිට්ඨෙන - සංකිලිස්සන්ති මානවා
රූපේ සුද්ධෙ විසුජ්ඣන්ති - නං අක්ඛාතං මහේසිනා
චිත්තේන සංකිලිට්ඨෙන - සංකිලිස්සන්ති මානවා
චිත්තේ සුද්ධෙ විසුජ්ඣන්ති - ඉති වුත්තං මහේසිනා”
රූපය කිලිටි වීමෙන් සත්ත්වයෝ කිලිටි වන්නාහ, රූපය ශුද්ධ වූ කල්හි සත්ත්වයෝ ශුද්ධ වන්නාහ යි තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ නො කරන ලද්දේ ය. චිත්තය කිලිටි වීමෙන් සත්ත්වයෝ කිලිටි වන්නාහ. චිත්තය ශුද්ධ වූ කල්හි ශුද්ධ වන්නාහ. මෙසේ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ ය යනු මෙහි තේරුමයි. ..."
T. "එහි මනො යනු කාමාවචර කුසලාදී (භූමිගත) භේද අනුව සියලු චාතුර්භූමික (කාම - රූප - අරූප - ලොකුත්තර) සිතයි. ඒ භූමිවල පවත්නා සිතයි. මේ පදයෙහි ලා එකල ඒ වෙදා තුළ උපන් සිත් වශයෙන් නියම කරනු, ව්‍යවස්ථා කරනු, සීමා කරනු ලබන සොම්නස් සහගත ඤාණසම්ප්‍රයුක්ත සිතම වෙයි. පුබ්බංගමා යනු ඒ සිත සමඟ පුරෝගාමීව යෙදීමයි. ධම්මා යනු ගුණ - දේශනා - පරියන්ති - නිස්සත්ත - නිජ්ජීව වශයෙන් චතුර්විධ වේ. ඔවුන් අතර
දහම හා අදහම සම විපාක ගෙන නොදේ
අදහමෙන් නිරයටද දහමෙන් සුගතියටද යේ.
මේ ගුණ ධම්ම නම් වේ. ‘ධම්මං වො භික්ඛවෙ දෙසිස්සාමි ආදි කළ්‍යාණං’ ආදි තන්හි දේශනාධම්ම නම් වේ. ඉධ පන භික්ඛවෙ එකච්චේ කුලපුත්තා ධම්මං පරියාපුණන්ති සුත්තං ගෙය්‍යං’ ආදී තැන්වල ‘පරියන්ති ධම්ම’ නම්වේ. ‘තස්මිං ඛො පන සමයෙ ධම්මා හොන්ති ඛන්ධා හොන්ති’ ආදී තැන්වල ‘නිස්සත්ත ධම්ම’ නම්වේ. නිජ්ජීවධම්ම යනුද මෙය මයි. එයින් මේ ස්ථානයෙහි (ගාථාවෙහි) ‘නිස්සත්ත නිජ්ජීවධම්ම’ අදහස් කරන ලදි. එහි අදහස නම් ත්‍රිවිධ අරූපස්කන්ධයෝයි. වෙදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය යන තුනයි. ඔවුනතර මේ මේ ධර්මයන්ට සිත යොමුවේනුයි මනොපුබ්බංගමා නම්වේ.
කෙසේ නම් මොවුන් සමඟ ඒකවත්ථුක, ඒකාරම්මණ ලෙස නොපසුව නොපෙරටුව එකක්ෂණයක උපදිමින් මනෝපුබ්බංගම වෙයිද? උත්පාද ප්‍රත්‍යාර්ථයෙනි. යම් ලෙසකින් බොහෝ දෙනෙක් එකතුව ගම් පැහැරීම් ආදිය කරන කල්හි මෙහි පුරෝගාමියා කවුදැයි ඇසූ විට යමෙක් ඒ සඳහා ප්‍රත්‍යය වේනම්, යමක් උදෙසා ඔවුහු ඒ කර්මය කෙරෙත්නම් ඔහුගේ නම දත්ත වුවත්, මත්ත වුවත් ඔහුම ඔවුන්ගේ පුරෝගාමියායයි කියනු ලැබෙයි. මෙහි පිළිවෙළ මෙසේ දත යුතුයි. මේ ආකාරයෙන් උත්පාදප්‍රත්‍යාර්ථයෙන් මොවුන්ට මනස පුර්වංගම වේනුයි ‘මනොපුබ්බංගමා’ නම්වේ.
මනස නූපන් කල්හි ඒ ස්කන්ධාදීහු ඉපදීමට නොහැකි වෙත්ද? මනස වුකලී ඇතැම් චෛතසිකයන් නූපන් කල්හිද උපදිනේමය. අධිපති වශයෙන් මේ මනස චෛතසිකයන්ට ශ්‍රේෂ්ඨ වේ යන අරුතින් මනොසෙට්ඨා නම්වේ. චෞදරාදීන්ට චෞරනායකයෝ අධිපති වූවාහු, ශ්‍රේෂ්ඨ වුවාහු වෙත්ද, එසේ ඒ චෛතසිකයන්ටද අධිපති වනහෙයින් මනොසෙට්ඨ නම්වේ. යම් සේ ලී ආදියෙන් නිෂ්පාදනය කරනලද ඒ ඒ බඩුභාණ්ඩ දාරුමය යන නම ලබයිද, එසේය. ඒ ආකාරයෙන් මේ සිත්ද මනසින් නිපන් නිසා මනොමය නමි. පදුට්ඨෙන යනු ආගන්තුකව පැමිණි අහිධ්‍යාදී දොස්වලින් අතිශයින් දූෂ්‍යවු සිතයි. ප්‍රකෘති මනස නම් භවාංග විත්තයයි. එය අප්‍රදුෂ්‍යයි. පිරිසිදුයි. යම්සේ පැහැදිලි ජලය ආගන්තුකව පැමිණෙන නීලවර්ණාදියෙන් කිලිටිවු කල නිල්දිය ආදි භේදවලට පැමිණේද, ඉන්පසු එය අලුත් ජලයක් නොවුණත් පෙර පැවති ජලයද නොවේ. ඒ ආකාරයෙන් සිතද ආගන්තුකවු අහිධ්‍යාදී දොස්වලින් ප්‍රදූෂ්‍ය වන්නේවෙයි. ඉන්පසු එය අලුත් සිතක්ම හෝ පෙර තිබුණු සිත හෝ නොවෙයි. මේද භවාංග සිතමය. එහෙයින් බුදුහු මෙසේ වදාළහ. ‘පභස්සරමිදං භික්ඛවෙ චිත්තං තං ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙට්ඨෙහි උපක්කිලෙසං’ මහණෙනි මේ සිත ඉතා ප්‍රභාස්වරයි නමුත් එය ආගන්තුක උපක්කිලෙස නිසා කිලිටිවුයේ වෙයි.
‘මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරොතිවා’ යනු පුද්ගලයා කථා කරන විට චතුර්විධ වාග් දුශ්චරිතයම කරයි. එසේ සිටින විට ඒ අහිධ්‍යාදී ප්‍රදූෂ්‍යවූ මනසක් ඇති නිසා ත්‍රිවිධ මනෝදුශ්චරිත පුරයි. මෙසේ ඔහුට දසඅකුසල කර්මපථ සම්පුර්ණ වේ. තතො නං දුක්ඛමන්වෙති යනු ඒ ත්‍රිවිධ දුශ්චරිතයෙන් ඒ පුද්ගලයා පිටුපස දුක ලුහුබැඳ යයි. ඒ දුශ්චරිතය හේතුකොටගෙන සතර අපායේ හෝ මිනිස් ලොව හෝ අඳුරු තැන්වලට යෙයි. කායවස්තුකාදි සෙසු කර්මයනුත් මේ පර්‍යායයෙන් කායික චෛතසික විපාක දුක අනුව යයි. කුමක් මෙන්ද? චක්කං ව වහතො පදං ශකටයෙහි (රථයෙහි) බැඳි, ශකටය ඇදගෙන යන ගවයාගේ පා පිටිපස්සේ එන රථරෝදය මෙනි. යම් සේ ඒ ගවයා දිනක් දෙකක් දිනපහක් දහයක් අඩමසක් මාසයක් නමුත් ගැළ ඇදගෙන යන්නේ නම් රියසක නවත්වන්නට හෝ එය හැර දමන්නට හෝ හැකි නොවේ. ඉදිරියට ඇදී යන ඔහුගේ බෙල්ල සකටය මගින් පෙළයි. පසුපසට යනවිට රියසක කලවා මාංශයේ වැදෙයි. මෙසේ දෙයාකාරයකින් පෙළෙන රියසක ඔහුගේ පා අනුවම පවතී. එසේම අතිශයින් දුෂිතවූ මනසින් ත්‍රිවිධ දුශ්චරිත පුරා සිටි පුද්ගලයා නිරයාදි ගියගිය තැන දුශ්චරිත මුලිකව කායික චෛතසික දුක ලුහුබඳී."