154. සෝවහන් වෙලා මැරිලා මිනිස්ලොව ආයෙත් උපන්නොත්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සෝවාන් වෙලා මිනිස්ලොව ආයෙත් උපදුනොත්?

A / R. “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යනුයි. මහණෙනි, මොව්හු පඤ්චෙන්ද්‍රියයෝයි.

“මහණෙනි, මේ පඤ්චෙන්ද්‍රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අන්තරා පරිනිබ්බායී අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රීයයන්ගෙන් උපහච්ච පරිනිබ්බායි අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අසංඛාර පරිනිබ්බායි අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සසංඛාර පරිනිබ්බායි අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් උද්ධංසොත අකනිට්ඨගාමී අනාගාමීවෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සකෘදාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් ඒකබීජි නම් සෝවාන් පුද්ගලයා වෙයි. සෝවාන්වී එකම ආත්මභාවයක ඉපිද රහත්වන පුද්ගලයා කෝලංකොල නම් සෝවාන් පුද්ගලයා වෙයි දෙතුන් භවයක සැරිසරා රහත්වන පුද්ගලයා ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සත්තක්ඛත්තු පරම නම් සෝවාන් පුද්ගලයා වෙයි. සත්වරක් දෙව් මිනිස් ලෝකයන්හි සැරිසරා රහත්වන පුද්ගලයා ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් ධම්මානුසාරී නම් සෝවාන් පුද්ගලයා වෙයි, ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සද්ධානුසාරී නම් සෝවාන් පුද්ගලයා වෙයි”

R. " ... ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, සංයෝජන තුනක් ක්‍ෂය කිරීමෙන් සත්තක්ඛත්තු පරම නම් සෝතාපන්නයා වෙයි. සත් වරක් දෙව් ලොවද, මිනිස් ලොවද සැරිසරා දුක් කෙළවර කරයි."

{’මහණෙනි, තමහට හිත කැමැත්තාවූ කුලපුත්‍රයෝ යම් ශික්‍ෂාවෙක්හි හික්මෙද්ද, එබඳුවූ එක්සිය පනසක් ශික්‍ෂාපද අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයිද, මහණෙනි, ඒ සියලු ශික්‍ෂාපද ඇතුළත් වන්නාවූ මේ ශික්‍ෂා තුනක් වෙත්. කවර තුනක්ද? අධිශීල ශික්‍ෂාව, අධිචිත්ත ශික්‍ෂාව, අධිප්‍රඥා ශික්‍ෂාව යන මොහුයි. මහණෙනි, මේ ශික්‍ෂා තුනෙහි, ඒ සියලු ශික්‍ෂාපද ඇතුලත්වෙයි.
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සීලය සම්පූර්‍ණ කරන්නේ වෙයිද, සමාධිය සම්පූර්‍ණ කරන්නේ වෙයිද, ප්‍රඥාව සම්පූර්‍ණ කරන්නේ වෙයිද, හෙතෙම යම් ඒ කුඩා අනුකුඩා ශික්‍ෂාපද කෙනෙක් වෙත්ද, ඒ ශික්‍ෂාපදයන්ගෙන් වරදට පැමිණෙන්නේද වෙයි. නැගිටින්නේ ද වෙයි. ඊට හේතු කවරේද?
’’මහණෙනි, එහි මාර්‍ග ඵලයන්ට නුසුදුසු බවක් නොකියන ලදී. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවට සුදුසුවූ, මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ, යම් ශික්‍ෂාපද කෙනෙක් වෙද්ද, එහි නිත්‍ය සිල් ඇත්තේද වෙයි, පිහිටි සිල් ඇත්තේද වෙයි, ශික්‍ෂාපදයන්හි සමාදන්ව හික්මෙයි, හෙතෙම ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අර්හත්ඵල සමාධියත්, අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේම විශේෂ නුවණින් ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරයි.
’’ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, ඔරම්භාගීය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී නම් පුද්ගලයා වෙයි.
’’ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, ඔරම්භාගීය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් උපහච්ච පරිනිබ්බායී නම් අනාගාමී පුද්ගලයා වෙයි.
’’ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, ඔරම්භාගීය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් අසංඛාර පරිනිබ්බායී නම් අනාගාමී පුද්ගලයා වෙයි.
’’ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, ඔරම්භාගීය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් සසංස්කාර පරිනිබ්බායී නම් පුද්ගලයා වෙයි.
’’ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, ඔරම්භාගීය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් උද්ධං සොත අකනිට්ඨාගාමී නම් අනාගාමී පුද්ගලයා වෙයි.
’’ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, සංයෝජන තුනක් ක්‍ෂය කිරීමෙන් රාග දෝස බාගයක් තුනීවූ හෙයින් සකදාගාමී නම් වෙයි. වරක් මේ කාම ලෝකයට පැමිණ දුක් කෙළවර කරයි.
’’ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, සංයෝජන තුනක් ක්‍ෂය කිරීමෙන් ඒකබීජී නම් සෝවාන් පුද්ගලයා වෙයි. මිනිසත් බවක්ම ලබා දුක් කෙළවර කරයි.
’’ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, සංයෝජන තුනක් ක්‍ෂය කිරීමෙන් කෝලංකෝල නම් සෝවාන් පුද්ගලයා වෙයි. භව දෙක තුනක සැරිසරා දුක් කෙළවර කරයි.
’’ඊට නොපැමිණෙන්නේ, එය ප්‍රතිවේධ නොකරන්නේ, සංයෝජන තුනක් ක්‍ෂය කිරීමෙන් සත්තක්ඛත්තු පරම නම් සෝතාපන්නයා වෙයි. සත් වරක් දෙව් ලොවද, මිනිස් ලොවද සැරිසරා දුක් කෙළවර කරයි.
’’මහණෙනි, මෙසේ වනාහි සම්පූර්‍ණ කරන්නේ, සම්පූර්‍ණයෙන් ලබයි. කොටසක් පුරන්නේ කොටසක් ලබයි. මහණෙනි, මෙසේ වනාහි ශික්‍ෂාපද නොවඳයයි කියමි.’’}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll