535. "මොනවද අම්මේ අකුරු ජාතියක්"?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. උපතින්ම අන්ධ පුද්ගලයෙකුට නිවන් අවබෝධ කරගත හැකිද...?

A / R.  “ත්‍රිහේතුක උපතක්/ප්‍රතිසන්ධියක්” තියන කෙනෙකුට, යම් කිසි අකුශල කර්‍ම විපාකයකින් චක්ඛු-දශකය පහළ වීම වැළැක්වුවොත්?

{“ඇතැම් සත්ත්ව කෙනකුන්ට ඇතැම් ඉන්ද්‍රියයන් නො ලැබී යාම වනාහි ඔවුන්ගේ ප්‍ර‍තිසන්ධිය ගෙන දුන් කර්‍මයා ගේ දුබල කමින් ද සිදු වේ. යම් කිසි අකුශල කර්‍මයකින් ඉන්ද්‍රිය පහළ වීම වැළැක්වීම නිසා ද සිදු වේ.}

T / R. [ත්‍රිහේතුක = අලෝභ - අද්වේෂ - අමෝහ (සහිත).]

"මේ පුද්ගලයන් භේදයට පැමිණෙන්නේ ප්‍ර‍තිසන්ධි චිත්තයෙනි. අකුසල විපාක උපේක්ෂා සහගත සන්තීරණ චිත්තයෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ දුර්ගති අහේතුකයෝ ය. කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණයෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ සුගති අහේතුකයෝ ය. මහා විපාක ඤාණ විප්පයුත්ත සිත් සතරෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ ද්විහේතුකයෝ ය. මහා විපාක ඥාන සම්ප්‍ර‍යුක්ත සතර ය, මහග්ගත විපාක නවය ය යන සිත් දහතුනෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ ත්‍රිහේතුකයෝ ය. අසංඥ පුද්ගලයා ද අහේතුක පුද්ගලයෙකි."

"ත්‍රිහේතුක කුශලය, ද්විහේතුක කුශලය කියා කාමාවචර කුශලය දෙවැදෑරුම් වේ. ඥාන සම්ප්‍ර‍යුක්ත සිත් සතර ත්‍රිහේතුක ය. ඥාන විප්‍ර‍යුක්ත සිත් සතර ද්විහේතුක ය. එයින් ත්‍රිහේතුක කුශලය බලවත් ය."

T / R. මාර්ගාධිගමයට අන්තරායික ධර්ම
කර්මාන්තරාය ය, ක්ලේශාන්තරාය ය, විපාකාන්තරාය ය, උපවාදාන්තරාය ය, ආඥා ව්‍යතික්‍රමණාන්තරාය යයි මාර්ගාධිගමයට අන්තරායකර කරුණු පසෙක් වේ. පඤ්චානන්තර්ය කර්මය හා භික්ෂුණී දූෂක කර්මය කර්මාන්තරාය ය. කොතෙක් හේතු සම්පත් ඇතිව සිටියාහු ද මෙයින් යමක් කළවුන්ට ඒ ජාතියේදී කොතෙක් වීර්ය කළත් මඟ-ඵල නො ලැබේ. නියත මිථ්‍යාදෘෂ්ටිය ක්ලේශාන්තරාය ය. නියත මිථ්‍යාදෘෂ්ටිය ගෙන සිටින තැනැත්තා ඒ දෘෂ්ටිය හැර සම්‍යග්දෘෂ්ටිය ගතහොත් මඟ ඵල ලැබිය හැකිය. ද්විහේතුක අහේතුක ප්‍රතිසන්ධිය විපාකාන්තරාය ය. එම ජාතියේ දී මඟ ඵල ලැබිය හැක්කේ ත්‍රිහේතුක පුද්ගලයන්ට පමණෙකි. අකුශල කර්මයෙන් හා දුබල කුශල කර්මයෙන් ප්‍රතිසන්ධි ලැබුවෝ අහේතුක ද්විහේතුක පුද්ගලයෝය. ....

ආර්‍ය්‍යෝපවාද කර්මය උපවාද අන්තරාය ය. බුදුවරයකුට හෝ පසේ බුදුවරයකුට හෝ ආර්‍ය්‍ය වූ බුද්ධ ශ්‍රාවකයකුට හෝ යටත් පිරිසෙයින් ගෘහස්ථ සෝවාන් පුද්ගලයකුට වුව ද ද්වේෂ සහගත සිතින් ගර්හා කිරීම ආර්‍ය්‍යෝපවාද කර්මයයි. එය පිළියම් ඇති අන්තරායයෙකි. අපරාධය කළ ආර්‍ය්‍ය පුද්ගලයා කමා කරවා ගැනීමෙන් ඒ දේෂය දුරු වේ. ඉන්පසු ඔහුට මඟ පල ලැබිය හැකිය. තමන් අතින් වරද කැරුණු ආර්‍ය්‍ය පුද්ගලයා සොයාගත නොහෙන කල්හි ඔහු ගිය දිශාව සලකා ඒ දිශාවට නමස්කාර කොට ක්ෂමාව අයැදීමෙන් ද, තමන් විසින් වරද කළ ආර්‍ය්‍ය පුද්ගලයා කාල ක්‍රියා කළේ නම් සොහොනට වැඳ ක්ෂමාව අයැදීමෙන් ද ඒ කර්මය සංසිඳෙන බව දක්වා තිබේ. සමහර විට තමන් අතින් බුද්ධාදි ආර්යයන්හට වරද සිදුවී තිබිය හැකි බැවින් භාවනාවට පටන් ගැනීමේදී ම යෝගාවචරයන් විසින් රත්නත්‍රය ක්ෂමා කරවාගෙන ආර්යයන් ක්ෂමා කරවාගෙන භාවනාව පටන් ගත යුතුයි.

දැන දැනම ඕනෑකමින් වරද කිරීමෙන් සිදුවූ ආපත්තීහු ආඥාව්‍යතික්‍රමණාන්තරය ය. ඒවා අන්තරායකර වන්නේ ඇවැත් දෙසීම් ආදියෙන් ශුද්ධියට නො පැමිණෙන තුරුය. උපසම්පන්න භාවයෙන් ඉවත් වුවහොත් ඉන්පසු ද ඒවායින් අන්තරායයක් නැත."

T / R. "කාම සුගති ප්‍ර‍තිසන්ධි නවයෙකි. කුශල විපාකෝපේක්ෂාසහගත සන්තීරණය ය, මහා විපාක අටය යන මේ සිත් නවය කාම සුගති ප්‍ර‍තිසන්ධි සිත් ය.

ජාත්‍යන්ධාදි ඇතැම් හීන මනුෂ්‍යයන්ට ද, භූම්‍යස්ථ දෙවියන් ඇසුරු කරන ඇතැම් විනිපාතික අසුරයන්ට ද කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණය ප්‍ර‍තිසන්‍ධිය වේ. මේ කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණය ඉතා දුබල කුශලයක ගේ විපාක වශයෙන් ඇති වන්නකි.

මිනිස් ලොව කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණයෙන් පිළිසිඳ ගන්නා සත්ත්වයෝ නම් උත්පත්තියෙන් ම අන්ධයෝ ය. බිහිරෝ ය, ගොළුවෝ ය, අඝානකයෝ ය, කෙළතොලුවෝ ය, පිස්සෝ ය, පණ්ඩකයෝ ය, උභතෝබ්‍යඤ්ජනකයෝ ය, නපුංසකයෝ ය, මම්මයෝය යන මොවුහු ය.

අඝානකයෝ නම් ඝ්‍රාණේන්ද්‍රිය නැත්තෝ ය. කෙළතොලුවෝ නම් වම දකුණ පවා නාඳුනන මෝඩයෝ ය. කටේ කෙළ රඳවා ගැනීමට තරම් වත් දැනුමක් ඔවුනට නැති නිසා ඔවුන් ගේ මුවින් කෙළ වැගිරෙයි. එබැවින් ඔවුනට කෙළතොලුවෝ යයි කියති. ස්ත්‍රී පුරුෂ භාවයන් පිළිබඳ විපර්යාස ඇතියෝ පණ්ඩකයෝ ය. ස්ත්‍රී පුරුෂ ලිඞ්ග දෙක ම ඇත්තෝ උභතෝබ්‍යඤ්ජනකයෝ ය. ස්ත්‍රී පුරුෂ භාව නැතියෝ නපුංසකයෝ ය. මහත් උත්සාහයෙන් එක අකුර දෙතුන් වර කියමින් කථා කරන්නෝ මම්මයෝ ය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll